ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ට පැනවූ දැඩි කොන්දේසි මෙන්න

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගිවිසුම්ගත ක්‍රීඩකයින් සඳහා නව සංශෝධිත ආචාර් ධර්ම පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ක්‍රීඩකයින්ගේ විනය සහ සමාජ මාධ්‍ය භාවිතය යන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බව බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු පැවසුවේය.
සංශෝධනයට ලක් කරන ලද ආචාර ධර්ම කොන්දේසි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වීමට නියමිත ක්‍රීඩකයින්ගේ නව ගිවිසුම්වලට ඇතුළත් කර ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.
විශේෂ අවධානයක් යොමුව ඇති අංශ මොනවාද ?
ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ වෘත්තීමභාවය නගා සිටුවීම මෙන්ම මානසික යහපැවැත්ම පිළිබඳව වැඩි අවධානයක් මෙම ආචාර ධර්ම සංග්‍රහයේ කොන්දේසි සංශෝධනය කිරීමේ මුලික අභිප්‍රාය වී ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේය.
විශේෂයෙන්ම දේශීය මෙන්ම විදේශීය තරග සංචාර සඳහා ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට සහ සහායක කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයින්ට බිරිඳ හෝ සහකාරිය පමණක් රැගෙන යෑමට අවසර හිමිවනු ඇත.
එමෙන්ම දේශීය සහ ජාත්‍යන්තර තරගවලදී මෙන්ම සමාජ මාධ්‍ය භාවිතයේදී අනවශ්‍ය ලෙස භාෂාව හැසිරවීම තහනම් වන අතර එවැනි අවස්ථාවකදී කිසියම් ක්‍රීඩකයෙකු හෝ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වරදකරුවකු වුවහොත්, කණ්ඩායම් කළමනාකරුට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලය හිමිවේ.
යම් ක්‍රීඩකයෙකු හෝ පුහුණුකරුවෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණෙන විට හෝ පුහුණු සැසිවලට එක්වන විට මෙන් ම ජාත්‍යන්තර සංචාරවලදී සැරසී සිටින ඇඳුම් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවට සංශෝධිත ආචාර ධර්ම සංග්‍රහයේ කරුණු ඇතුළත් කර ඇත.
''උදාහරණයක් විදිහට සමහර ක්‍රීඩකයෝ කොට කලිසම්, බැනියම් වගේ දේවල් ඇඳගෙන රබර් සෙරප්පු දාගෙන ක්‍රිකට් ආයතනයට එනවා. සාමාන්‍යයෙන් අපි වැඩ කරන තැනකට එහෙම එන සිරිතක් නැහැනේ. මේ වගේ කරුණු නිසයි ඇඳුම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ.'' ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම නිලධාරියා බීබීසී සිංහල වෙත පැවසුවේය.
මේ අතර නව ආචාර ධර්ම සංග්‍රහය මගින් ජාතික කණ්ඩායම සමග ගිවිසුම්ගත ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරාබු පැළඳීමෙන් වැළකී සිටින ලෙසට ද නව මාර්ගෝපදේශ මාලව මගින් දැනුම් දී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සමාජ මාධ්‍ය භාවිතය ගැන නීති ගෙන එයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත ක්‍රීඩකයින් සඳහා සමාජ මාධ්‍ය භාවිත කළ යුතු ආකාරය පිළිබඳව ද සංශෝධිත ආචාර ධර්ම පද්ධතිය මගින් අවධානය යොමු කර ඇත.
එහිදී ක්‍රීඩකයින් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ පලකරන වීඩියෝ, ඡායාරූප සහ සටහන් මගින් ක්‍රීඩාවේ ජීවගුණයට හානිකරන දේ සිදුනොකිරීමට වගබලා ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම ක්‍රීඩකයින්ගේ ප්‍රතිරූපය අනවශ්‍ය ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ සමාජ මාධ්‍ය සමූහයන් හරහා සිදුකරන බලපෑම් සඳහා මින් ඉදිරියට අවසර හිමි නොවේ.
''විශේෂයෙන්ම සමහර වෙලාවට අපි දකිනවා සමහර ක්‍රීඩකයින් හොඳ නැහැ, එයා වෙනුවට මේ ක්‍රීඩකයා ඉන්න ඕන කණ්ඩායමේ කියලා සෝෂල් මිඩියාවල පෝස්ට්ස් ෂෙයාර් වෙනවා. ඒවා සමහර වෙලාවට සංවිධානාත්මකව සිදුවෙනවා නම් ඒවාට මින් පස්සේ ඉඩක් ලැබෙන්නේ නැහැ." ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු බීබීසී සිංහල වෙත පැවසුවේය.
වැඩියෙන්ම අවධානය යොමු කර තිබෙන මාර්ගෝපදේශය
මේ අතර නව ක්‍රීඩක ආචාර ධර්ම සංග්‍රහයේ අඩංගු වඩාත් කතාබහට ලක්වන මාර්ගෝපදේශවලින් එකක් වන්නේ පුළුල් දූෂණ විරෝධී සහ ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් තරග සංචාර අතරතුර විනය කොන්දේසි මාලාවන්ගේ කොටසක් ලෙස ක්‍රිකට් ක්‍රීඩකයින් සෙසු පුද්ගලයින් සමග කරනු ලබන සම්බන්ධකම් සීමා කිරීම සඳහා සීමාවන් හඳුන්වා දීමයි.
මෙම පියවර ගැනීමේ අරමුණ වී ඇත්තේ ක්‍රීඩකයින්ට බාහිර පාර්ශවවලින් එල්ල වන බලපෑම් අවම කිරීම සහ පෙළඹවීම් හරහා කණ්ඩායමේ සංවේදී තොරතුරු වෙනත් පාර්ශව වෙත ලබාගැනීමට ඇති අවදානම අවම කිරීයි.
ඒ අනුව තරග සංචාර අතරතුර අනවසර පුද්ගලයින් සමඟ අන්තර් සබඳතා පැවැත්වීම සංශෝධිත නීති සංග්‍රහය යටතේ දැඩි ලෙස අධීක්ෂණයට ලක්කර ඇත.
ක්‍රීඩකයින් සඳහා සංශෝධනයට ලක් කරන ලද ආචාර ධර්ම සංග්‍රහය ඇතුළත් නව ගිවිසුම් මේ වන විට ලබාදීමට කටයුතු කර ඇති බවත්, ඉදිරියේදී ක්‍රීඩකයින් ගිවිසුම්ගත වීම සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරියෙකු බීබීසී සිංහල වෙත වැඩිදුරටත් කියා සිටියේය.


































