ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු කැනඩාවේදී අත්අඩංගුවට ගැනීම ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

වෛද්‍යවරයෙකුගේ අතට දැමූ මාංචු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

කැනඩාවේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු ටොරොන්ටෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ, ළමා ලිංගික අපයෝජන සහ සූරාකෑමේ අන්තර්ගතයන් වෙත ප්‍රවේශ වීමට සහ ඒවා ඩවුන්ලෝඩ් කිරීමට ඉලෙක්ට්‍රොනික උපාංගයක් භාවිත කළ බවට චෝදනා එල්ල වීම හේතුවෙනි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ටොරොන්ටෝහි පදිංචි 44 හැවිරිදි ඩිලාන් දිසානායක නමැති ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකි.

ටොරොන්ටෝ පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ, ඔහු ඊයේ (ජූලි 21) අත්අඩංගුවට ගත් බව ය.

2026 ජනවාරි මාසයේදී නීතිවිරෝධී අන්තර්ගතයන් වෙත ප්‍රවේශ වීම සහ ඒවා ඩවුන්ලෝඩ් කිරීමට ඉලෙක්ට්‍රොනික උපාංගයක් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව ටොරොන්ටෝ පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ටොරොන්ටෝ පොලිස් නිවේදනයේ සඳහන් වන්නේ මොනවා ද?

ටොරොන්ටෝ පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, ඉන්ටර්නෙට් ළමා සූරාකෑමේ ඒකකයේ නිලධාරීන් විසින් සෝදිසි වරෙන්තුවක් මත අදාළ වෛද්‍යවරයා සේවය කරන රෝහල සහ ඔහුගේ පෞද්ගලික නිවස 2026 වසරේ පෙබරවාරි මාසයේදී සෝදිසි කිරීමට ලක් කළ බව ය.

එහිදී පොලිස් නිලධාරීන් විසින් ළමා ලිංගික අපයෝජන සහ සූරාකෑමේ අන්තර්ගතයන් වෙත ප්‍රවේශ වීමට සහ ඒවා ඩවුන්ලෝඩ් කිරීමට යොදා ගත් බව කියන පරිගණකයක් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංග කිහිපයක් ඔවුන් භාරයට ගෙන තිබේ.

ඒ අනුව ටොරොන්ටෝ පොලිසියේ ඉන්ටර්නෙට් ළමා සූරාකෑම් ඒකකයේ නිලධාරීන් විසින් 44 හැවිරිදි ඩිලාන් දිසානායක අත්අඩංගුවට ගත් අතර, ඔහු දරුවන් වෙනුවෙන් වූ Hospital For Sick Children නමැති රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා ඔහුගේ වෛද්‍ය සේවාවට සම්බන්ධ කරගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් විමර්ශකයින්ට හමු වී නොමැති බවත්, සිදුවීම සම්බන්ධයෙන් අඛණ්ඩ විමර්ශන සිදුකරන බවත් ය.

එමෙන් ම, ළමා ලිංගික අපයෝජන සහ සූරාකෑම්වලට අදාළ උපකරණ ඔහුගේ වෛද්‍ය වෘත්තිය සමග සම්බන්ධ බවට වන කිසිදු සාක්ෂියක් විමර්ශකයින් සොයාගෙන නොමැත.

මෙය තවදුරටත් ක්‍රියාත්මක වන විමර්ශනයක් වන අතර සියලු ම චෝදනා අධිකරණයේ ඔප්පු කර නොමැති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එල්ල වී ඇති චෝදනා මොනවා ද?

ළමා ලිංගික අපයෝජන සහ සූරාකෑම් පිළිබඳ අන්තර්ගතයන් ළඟ තබා ගැනීම සහ ළමා ලිංගික අපයෝජන සහ සූරාකෑම් පිළිබඳ වූ අන්තර්ගතයන් වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් මෙම සැකකාර වෛද්‍යවරයා වෙත චෝදනා එල්ල වී ඇති බව ටොරොන්ටෝ පොලිසිය නිවේදනය කර ඇත.

ටොරොන්ටෝ පොලිසිය පවසන පරිදි, සැකකරු ඊයේ දිනයේ (ජූලි 21) ඔන්ටාරියෝ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

රෝහලෙන් නිකුත් කළ නිවේදනය

ළමා ලිංගික අපයෝජන සහ සූරාකෑමේ අන්තර්ගතයන් ළඟ තබා ගැනීම සහ ඒවාට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් ටොරොන්ටෝ පොලිසිය, වෛද්‍ය ඩිලාන් දිසානායකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කර ඇති බව ඔහු සේවය කළ Hospital For Sick Children රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මෙම පුවත පිළිබඳව දැඩි ලෙස කලකිරීමට පත් වන බවත්, පොලිස් විමර්ශනයේදී අනාවරණය වූ ක්‍රියාකලාපය හෙළා දකින බවත් රෝහල විසින් නිකුත් කරනු ලැබ ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

රෝගීන්ට සහ පවුල්වලට ඇති කිසිදු අවදානමක් පිළිබඳව Hospital For Sick Children වෙත දැනුම් දී නොමැති අතර, වෛද්‍ය දිසානායකගේ වෛද්‍ය ප්‍රතිකාරවලට එම චෝදනා සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ද ටොරොන්ටෝ පොලිස් සේවය පෙන්වා දී ඇති බව එම රෝහල සඳහන් කරයි.

විමර්ශනය පිළිබඳව දැනුවත් වූ වහා ම චෝදනා එල්ල වූ වෛද්‍යවරයාට අනිවාර්ය නිවාඩු ලබා දුන් බවත්, ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගත් සහ ගැටලු ඇති රෝගී පවුල්වලට රෝහල වෙත විද්‍යුත් තැපෑල ඔස්සේ ඒ පිළිබඳව දැනුවත් කළ හැකි බවත් රෝහල දැනුම් දී තිබේ.