විජලනය යනු කුමක් ද? විජලනය නිසා ඔබට සිදුවිය හැකි සෞඛ්‍යමය බලපෑම් මොනවා ද?

රෝගියෙකුගේ අතක්
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

පසුගිය දින කිහිපය තුළදී විජලනය සම්බන්ධයෙන් මෙරට ජනතාව අතර දැඩි අවධානයක් යොමු විය.

ඒ, රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව විජලනය වීම හේතුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීමත් සමග ය.

විජලනය යනු, බරපතළ රෝගී තත්ත්වයක් ද? එය බරපතළ ලෙස බලපාන්නේ කෙබඳු පුද්ගලයින්ට ද? ඒ පිළිබඳව ඉදිරිපත් කෙරෙන වෛද්‍යමය පැහැදිලි කිරීමකි, මේ.

විජලනය යනු, මිනිස් සිරු‍රේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට දේහය තුළ ජලය නොපැවතීම බව ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ නිරත නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් බීබීසී සිංහල වෙත පැවසීය.

වැඩි වශයෙන් ඩහදිය දැමීම, වමනය, පාචනය සහ අතීසාරය වැනි තත්ත්වවලදී විජලනය ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

"විජලනය ඉතා භායනක වෙන්නේ කුඩා දරුවන්ගේ සහ වැඩිමහල් අයගේ. ඒ අයට විජලනය කියන දෙය සරල දෙයක් නෙවෙයි," වෛද්‍යවරයා අවධාරණය කළේ ය.

ඔහු සඳහන් කළේ, විජලනය මොළය, හෘදය සහ වකුගඩු ආදී අවයවවල ක්‍රියාකාරිත්වයට බලපෑ හැකි බව ය.

[විජලනය හේතුවෙන්] "හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්," ඔහු පැවසීය.

Man drinking water cooling off in extreme summer heat wave. - stock photo

විජලනයේ රෝග ලක්ෂණ

ඩහදිය, මුත්‍රා කිරීම සහ හුස්ම ගැනීම හරහා පවා අපට නිතර ම ජලය අහිමි වේ. නිරෝගීව සිටීමට නම්, අප එසේ අහිමි වන ජලය යළි ලබා ගත යුතු ය. මෙය ජල සමතුලිතතාව ලෙස හැඳින්වේ.

ශරීරයට ලැබෙන ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් අහිමි වූ විට, විජලනය සිදුවිය හැකි ය. මෙය බරපතළ සෞඛ්‍ය ගැටලු රැසකට මග විවර කරයි.

රෝග ලක්ෂණ

  • තද කහ, අධික ගන්ධයක් සහිත මුත්‍රා පිටවීම
  • සාමාන්‍ය තත්ත්වයට වඩා අඩුවෙන් මුත්‍රා කිරීම
  • කරකැවිල්ල හෝ සිහිමඳ ස්වභාවය
  • තෙහෙට්ටුව
  • වියළි මුඛයක්, වියළි තොල් සහ දිව
  • ගිලුණු ඇස්

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන පරිදි, බරපතළ අවස්ථාවලදී, විජලන ව්‍යාකූලත්වය, හෘද ස්පන්දනය වැඩිවීම සහ අවයව අක්‍රිය වීමට පවා හේතු විය හැක.