Artemis II කණ්ඩායම පෘථිවියට නැවත පැමිණෙන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, NASA
- Author, කැතරින් හීත්වුඩ්
- Role, බීබීසී ලෝක සේවය
- කියවීමේ කාලය: මිනිත්තු 6
මිනිසුන් මීට පෙර කිසි දා ගමන් නොකළ දුරකට ගමන් කිරීමෙන් පසු, ආටෙමිස් II මෙහෙයුමේ අවදානම්සහගත තවත් අදියරක් වන පෘථිවියට නැවත පැමිණීම ඉදිරියේදී සිදුවනු ඇත.
ඔරායන් කැප්සියුලය, වොෂින්ටනයේ වේලාවෙන් සිකුරාදා රාත්‍රී 8:00ට පමණ (මෙරට වේලාවෙන් සෙනසුරාදා අළුයම 5.30) සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් පැසෆික් මුහුදට ගොඩබෑමට නියමිත ය.
"2023 අප්‍රේල් 3 වන දා මේ මෙහෙයුමට අපව අනුයුක්ත කළ දා සිට ම, නැවත පැමිණීම ගැන සිතුවා," ආටෙමිස් II නියමු වික්ටර් ග්ලෝවර්, අභ්‍යවකාශයේ සිට මාධ්‍ය වෙත පැවසීය.
"අපි අත්විඳි දේවල් මොනවා ද මම තාම තේරුම් ගන්න පටන් අරන් නැහැ… වායුගෝලය හරහා ගිනි බෝලයක් පදවා ගෙන එන එකත් ගැඹුරු අත්දැකීමක්," ඔහු පැවසීය.
සූදානම් වීම
අභ්‍යවකාශයේ ඔවුන් ගත කළ අවසන් දිනයේදී, කාර්ය මණ්ඩලය නැවත පෘථිවියට ඇතුළු වීම සම්බන්ධයෙන් අධ්‍යයානය කිරීම මෙන් ම පෘථිවියට නැවත ඇතුළු වීමේදී පෘථිවියේ ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ඇති විය හැකි කරකැවිල්ල වළක්වා ගැනීමට උපකාරී වන ඇඳුම් පැළඳ බැලීමටත් කටයුතු කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, NASA
ඔරායන් යානය පෘථිවියේ ඉහළ වායුගෝලයට ඇතුළු වීමට මිනිත්තු 20කට පමණ පෙර, එහි කාර්යය මණ්ඩලය සිටින මොඩියුලය (crew module) සහ යානයට බලය සපයන සේවා මොඩියුලයෙන් (service module) වෙන් වීමට නියමිත ය. ඉන්පසු කැප්සියුලය හැරෙන අතර, එමගින් එහි තාප ආවරණයට එය නැවත පෘථිවියට ඇතුළු වීමේදී ඇති වන දැඩි උෂ්ණත්වයන්ට මුහුණ දෙමින් ඇතුළත සිටින ගගනගාමීන් ආරක්ෂා කිරීමට හැකි වනු ඇත.
අවශ්‍ය නම්, යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට මිනිත්තු 16යි තත්පර 30කට පමණ පෙර සුළු කාලයක් එන්ජින් දහනයක් සිදු කර නිවැරදි කෝණයෙන් පැමිණෙන පරිදි එහි මාර්ගය තරමක් සකස් කරනු ඇත.
යානය නිශ්චිත කෝණයකින් පෘථිවියට ඇතුළු විය යුතු ය. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ හයිපර්සොනික්ස් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ක්‍රිස් ජේම්ස් පවසන්නේ, දෝෂයක් වීමට ඉඩ තිබුණත්, එය අංශක එකක වැඩි වීමක් හෝ අඩු වීමක් වැනි ඉතා කුඩා එකක් බවයි.
"ඔවුන් ඇතුළු වීමේ අදියරට පැමිණි විට, තත්ත්වයන් ඔවුන් බලාපොරොත්තු වුණු මට්ටමින් ම පවතින්නේ දැයි තහවුරු කර ගැනීමට ඔවුන්ට අවශ්‍යයි," ඔහු පවසයි. ඇතුළු වීමේ අදියර යනු, යානය අභ්‍යවකාශයේ සිට ග්‍රහලෝකයක ඉහළ වායුගෝලයට ඇතුළු වන අවස්ථාවයි.
"වැරදි කෝණයකින් ඇතුළු වුණොත්, යානය වායුගෝලයේදී ම දැවී යනවා. යානය තරමක් හරි ඉහළට එසවෙන කෝණයකින් ඇතුළු වුණොත් ඒක වායුගෝලයෙන් පිටතට නැවත තල්ලු වෙලා යන්න පුළුවන්. ඒ නිසා ඔවුන් හැමදේ ම හරියට තියෙන බවට තහවුරු කර ගන්න ඕනේ," ඔහු පවසයි.
"අසීරු ම හරිය දැන්"
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
බදාදා පැවති මාධ්‍ය හමුවකදී ආටෙමිස් II පියාසැරි අධ්‍යක්ෂ රික් හෙන්ෆ්ලින් පැහැදිලි කළේ, ඔරායන් යානය කිලෝමීටර් 122ක උන්නතාංශයක වායුගෝලයට ඇතුළු වන බවයි. "අසීරු ම හරිය දැන් තමයි පටන් ගන්නේ," ඔහු පැවසීය.
වායුගෝලය හරහා අධික වේගයෙන් ගමන් කරන විට, ඔරායන් යානයේ තාප ආවරණය සෙල්සියස් අංශක 2,700ක පමණ උෂ්ණත්වයකට නිරාවරණය විය හැක. එය සූර්යයාගේ මතුපිට උෂ්ණත්වයෙන් අඩක් පමණ වේ.
තාප ආවරණය කෙරෙහි විශාල අවධානයක් යොමුව තිබේ. කාර්ය මණ්ඩලයක් නොමැතිව කළ පළමු ආටෙමිස් මෙහෙයුමේදී එයට දැඩි ලෙස හානි වී තිබුණි. නමුත් නැවත ඇතුළු වීමේ කෝණය සකස් කිරීමෙන්, ගැටලුව නිවැරදි කර ඇතැයි ඉංජිනේරුවෝ විශ්වාස කරති.
වායුගෝලයට ඇතුළු වී ගගනගාමීන් පැසිෆික් සාගරයට වැටෙන තෙක් ගත වන්නේ මිනිත්තු 13ක් පමණක් බව හෙන්ෆ්ලින් පැවසීය.
ඇතුළු වීමෙන් තත්පර 24කට පසු, මිනිත්තු හයක කාලයක් කැප්සියුලය සහ පෘථිවිය අතර ඇති සම්බන්ධතාව සම්පූර්ණයෙන් ම ඇණහිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජේම්ස් පැහැදිලි කරන්නේ, වේගයෙන් ගමන් කරන යානය වාතය කොතරම් රත් කරනවා ද යත් ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් සහ නයිට්‍රජන් පරමාණුවලින් ඉවත් වී රේඩියෝ සංඥා අවහිර කරන විද්‍යුත් ආරෝපිත ප්ලාස්මාවක් සාදන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
හෙන්ෆ්ලින්ට අනුව, එම මිනිත්තු හය අවසානයේ ඔරායන් යානය භූමියේ සිට කිලෝමීටර් 46ක පමණ උසක සිට ඉතා වේගයෙන් පහළට වැටෙමින් පවතිනු ඇති බව ය.
"ඒ අවස්ථාව වෙද්දී අපි ගොඩබැසීමේ ස්ථානයෙන් සැතපුම් කිහිප දහයක් පමණ දුරකින් ඉන්නෙ. ඊට පස්සේ අපේ අවධානය පැරෂුට් දිග හැරීම වෙත යොමු වෙනවා," ඔහු පැහැදිලි කළේ ය.
වේගය අඩු කිරීම
යානය පෘථිවි වායුගෝලය හරහා පැයට කිලෝමීටර් 40,000කට වඩා වැඩි වේගයකින් ගමන් කරනු ඇත.
වේගය අඩු කිරීමේ, පළමු පියවර වන්නේ වායුගෝලය තිරිංග ලෙස භාවිත කිරීම බව ජේම්ස් පවසයි.
ඔරායන් කැප්සියුලය වායුගතික නොවන ලෙස සැලසුම් කර ඇති බැවින් එය "වායුගෝලය සමග ගැටෙන්නේ ගුවනින් පැමිණෙන ගඩොල් කැටයක් ලෙසයි. පසුව එය වේගය අඩු කර ගැනීමට වායු ප්‍රතිරෝධය භාවිත කරනවා," ඔහු පැහැදිලි කරයි.
මෙවැනි වේගයකදී, ගගනගාමීන් "දැඩි ලෙස ගැස්සීමකට ලක් වනු ඇත" යනුවෙන් ජේම්ස් පවසයි.
මිනිසුන් නොමැති යානා, මිනිත්තුවක් පමණ තුළ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය මෙන් සිය ගුණයක බලයකින් වායුගෝලයට ඇතුළු විය හැකි නමුත්, එය මනුෂ්‍යයෙකුට දරා ගත නොහැකි බව ඔහු පවසයි. ආටෙමිස් කණ්ඩායමට එය කළමනාකරණය කරගත හැකි වන පරිදි අභ්‍යවකාශ යානය වායුගෝලයට ඇතුළු වන්නේ ඉතා ප්‍රවේශමෙන් තෝරාගත් කෝණයකින් බැවින් ගොඩබෑමට වැඩි කාලයක් ගත වන අතර එමගින් කාර්ය මණ්ඩලය මත යෙදෙන ගුරුත්ව බලය අඩු කරනු ඇත.
යානය ආරක්ෂිතව ඇතුළු වූ පසු, වේගය තවදුරටත් අඩු කිරීමට පැරෂුට් කිහිපයක් විහිදුවනු ඇත.
"ඩ්‍රෝග් පැරෂුට් දෙකක් අපි විහිදුවනවා. ඒක අඩි 22,000ක (කිලෝමීටර් 6.7) උසකදී වගේ සිද්ධ වෙව්. ඒකෙන් අපි පැයට සැතපුම් 200ක් (පැයට කිලෝමීටර් 322ක්) පමණ දක්වා වේගය අඩු ක රගන්නවා," හෙන්ෆ්ලින් පැහැදිලි කළේ ය.
ඩ්‍රෝග් පැරෂුට්, ප්‍රධාන පැරෂුට් විහිදුවීමට පෙර යානය ස්ථාවර කරමින් වේගය අඩු කිරීමට නිර්මාණය කර ඇති අතර, ප්‍රධාන පැරෂුට් "අඩි 6,000ක (කිලෝමීටර් 1.8) උසකදී විහිදෙනවා. එයින් යානයත් ඇතුළත සිටින පුද්ගලයින් හතර දෙනාත් පැසිෆික් සාගරයට වැටෙන විට පැයට සැතපුම් 20ක් (පැයට කිලෝමීටර් 32ක්) පමණ වේගයට පත් කරනවා," යැයි හෙන්ෆ්ලින් පැවසීය.
මුහුදට වැටීම
කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් ගගනගාමීන් එනතුරු ඔවුන් නැවත ගොඩබිමට රැගෙන ඒමේ කණ්ඩායම බලා සිටිනු ඇත.
කැප්සියුලය උඩු අතට, උඩු යටිකුරු වී හෝ එක් පැත්තක හැරී ගොඩ බැසිය හැකි අතර, කාර්ය මණ්ඩලයට ආරක්ෂිතව පිටවිය හැකි වන පරිදි එය උඩු අතට හැරීමට උපකාරී වන පරිදි දීප්තිමත් තැඹිලි පැහැති වායු බෑග් පිම්බෙනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔරායන් උපමෙහෙයුම් කළමනාකාරිනී ඩෙබී කෝර්ත් බදාදා පැවසුවේ: "මුහුදට වැටීමෙන් පැය දෙකක් ඇතුළත කණ්ඩායම ආපසු වෛද්‍ය ඒකකයට ගෙන්වා දේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා."
මුහුදට වැටීමෙන් පසු පැය 24ක් ඇතුළත ගගනගාමීන් සැන් ඩියාගෝ නාවික කඳවුර වෙත නැවත පැමිණෙනු ඇතැයි ඇය ඇස්තමේන්තු කළා ය.
මෙහෙයුම අවසන් වූ පසු, ඔවුන්ට නැවත භූමිය මත පා තැබීමට සහ ඔවුන් තම ජීවිත කාලයේ එක් වරක් ලද අත්දැකීමක් වූ තම ගමන පිළිබඳ නැවත සිතා බැලීමට පළමු අවස්ථාව ලැබෙනු ඇත.
ඔවුන් සඳ වටා පියාසර කළ ගගනගාමීන් 24 දෙනෙකුගෙන් පමණක් සමන්විත විශේෂ කණ්ඩායමට අයත් වූවන් බවට පත් වනු ඇත.
"මේක අවුරුදු 50කට පස්සේ මනුෂ්‍යයෙක් පෘථිවියට වේගයෙන් ම ඇතුළු වූ අවස්ථාව වේවි," ජේම්ස් පවසයි.
ගගනගාමීන් ආරක්ෂිතව නැවත පෘථිවිය වෙත ආරක්ෂිතව ගෙන ඒමේ මෙහෙවර නාසා ආයතනය ඉතා බැරෑරුම් ලෙස සලකන බව ඔහු සඳහන් කරයි.
"ඔවුන් ආරක්ෂිතව නැවත පෘථිවියට පැමිණියාම මට විශාල සහනයක් දැනේවි කියන එක මගේ හිතේ තියෙනවා," ඔහු පවසයි.
































