ප්‍රවීන් ඉසුරු: ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු 'ඝාතන සිද්ධිය' ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Praveen Isuru / Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
ජපානයේ චිබා ප්‍රාන්තයේ, නගරෙයාමා නගරයේ නිවසකදී ශ්‍රී ලාංකික තරුණයෙකු "පිහි ඇනුමකින්" ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ, ප්‍රවීන් ඉසුරු නමැති 21 හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා ඝාතනය කිරීමට උත්සහ කිරීමේ චෝදනාව මත තවත් ශ්‍රී ලාංකිකයෙකු අගෝස්තු 11 වන දින එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි, ජපානයේ NHK One වාර්තා කළේය.
සිද්ධිය කුමක් ද?
NHK One වාර්තා කරන පරිදි, 11 වන දා පෙරවරු 10ට පමණ, "මගේ යාළුවෙකුට පිහියෙන් ඇනලා" යනුවෙන් නගරෙයාමා නගරයේ නිවසකින් හදිසි ඇමතුම් අංකය වෙත දුරකතන ඇමතුමක් ලැබී තිබේ.
අනතුරුව පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර අදාළ නිවසේ පදිංචිව සිටි 21 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන ජයකොඩි ආරච්චිලාගේ ප්‍රවීන් ඉසුරු, උදරයෙන් ලේ වහනය වෙමින් බිම වැටී සිටියදී සොයාගෙන ඇත.
ඔහු රෝහලගත කිරීමට පියවර ගෙන තිබුණ ද එහිදී ඔහු මියගොස් ඇති බව ප්‍රකාශ කර ඇතැයි NHK One සිය වාර්තාවේ සඳහන් කර තිබේ.
සිද්ධිය සිදු වූ ස්ථානයේ සිටි 18 හැවිරිදි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කළ අවස්ථාවේදී, ඔහු පිහියකින් අනෙක් තරුණයාට ඇන ඇති බව පිළිගෙන ඇත.
ඒ අනුව, මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත පොලිසිය ඔහු එම ස්ථානයේදී ම අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසා ඇත්තේ, ඔවුන් දෙදෙනා එකිනෙකා හඳුනන අය වන අතර, සැකකරු ප්‍රශ්න කිරීමේදී චෝදනා පිළිගෙන ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Praveen Isuru / Facebook
තානාපති කාර්යාලය පවසන්නේ කුමක් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විමසීමක් කළේ ය.
ඊට පිළිතුරු දෙමින් තානාපති කාර්යාලය සඳහන් කළේ, "2026 අගෝස්තු 11 වන දින චිබා ප්‍රාන්තයේදී 21 හැවිරිදි ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන ජයකොඩි ආරච්චිලාගේ ප්‍රවීන් ඉසුරු මිය යාම සම්බන්ධයෙන්" දැනුවත් බව ය.
එසේ වුව ද මියගිය තරුණයා සහ චෝදනා එල්ල වී ඇති සැකකරු ජපානයට පැමිණීම, ඔවුන්ගේ ආගමන තත්ත්වය සහ ඊට අදාළ වෙනත් පෞද්ගලික තොරතුරු සම්බන්ධයෙන්, නිල වශයෙන් තහවුරු කර නොමැති වීම හෝ දූත මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දී නොමැති බැවින් එම තොරතුරු ලබාදීමට තානාපති කාර්යාලයට හැකියාවක් නොමැති බව එම කාර්යාලය පැවසීය.
තානාපති කාර්යාලයට අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ජපාන බලධාරීහු විමර්ශනය කරමින් සිටිති.
කෙසේ වෙතත්, "මෙම අවස්ථාවේදී, සිද්ධියේ තත්ත්වයන්, සැකකරු හෝ විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පිළිබඳ නිල වශයෙන් තානාපති කාර්යාලයට දැනුම් දී නොමැති" බව තානාපති කාර්යාලය බීබීසීය වෙත යොමු කළ ඊමේල් පණිවිඩයේ සඳහන් වෙයි.
එහි තවදුරටත් මෙසේ ද සඳහන් විය:
"කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හරහා තානාපති කාර්යාලය මියගිය පුද්ගලයාගේ ළඟ ම ඥාතීන් සමග ද සම්බන්ධ වී සිටී. මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාපටිපාටි සඳහා තානාපති කාර්යාලය පහසුකම් සලසමින් සිටී.
"අදාළ ජපාන බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් සහ කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයෙන් ලැබෙන උපදෙස්වලට අනුකූලව, තානාපති කාර්යාලය පවුලට සුදුසු කොන්සියුලර් සහය අඛණ්ඩව ලබා දෙනු ඇත."
තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ, මියගිය පුද්ගලයාගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්, අදාළ ජපාන බලධාරීන් විසින් අවශ්‍ය ක්‍රියාපටිපාටි සම්පූර්ණ කරනු ලැබීමෙන් අනතුරුව, ජපාන බලධාරීන් සහ ඔහුගේ ළඟ ම ඥාතීන් සමග සම්බන්ධීකරණයෙන් අදාළ කටයුතු සඳහා තම කාර්යාලය පහසුකම් සලසනු ඇති බව ය.


































