T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ශූරියෝ: පළමු ජාත්‍යන්තර තරගයේදී ම දක්ෂතම ක්‍රීඩිකා සම්මානය දිනූ මල්කි

මල්කි මදාරා නවසීලන්තයට එරෙහිව කඩුල්ලක් දවා ගැනීමේ ප්‍රීතිය සමරමින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මල්කි මදාරා සිය පළමු ජාත්‍යන්තර තරගය වූ නවසීලන්තයට එරෙහිව පැවති T20 තරගයේදී කඩුලු 3ක් බිඳ හෙළමින් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා ය
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

මල්කි මදාරා, 2026 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයේ තවත් කැපීපෙනෙන සාමාජිකාවකි.

25 හැවිරිදි ඇය දකුණතින් වේග පන්දු යවන්නියක ලෙස කණ්ඩායමට දායකත්වය ලබා දෙන්නී ය.

පල්ලේ කංකානමගේ මල්කි මදාරා 2000 වසරේ දෙසැම්බර් 30 වන දා අකුරැස්සේදී උපත ලැබුවේ, ඩී.කේ. චන්ද්‍රදාස සහ එස්.ඩබ්ලිව්. චන්ද්‍රා යුවළගේ බාල ම දරුවා ලෙසිනි. ඇයට වැඩිමල් සොයුරෙක් සහ සොයුරියක් සිටිති

ස්ථීර රැකියාවක් නොමැති මව්පිය යුවළ පස් දෙනෙකුගෙන් සමන්විත පවුල පෝෂණය කළේ, එදිනෙදා ලැබෙන කුලී වැඩවල නිරත වෙමිනි.

පොල්පිති බැට් එකකින් ඇරඹි ක්‍රිකට් දිවිය

කුඩා කල සිට ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් දැක්වූ මල්කි මුලින් ම ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ, වසර 5 සම්පූර්ණ කිරීමට ද පෙරදී ය.

පොල් පිත්තකින් සකසා දුන් එම පිත්තෙන් ක්‍රීඩා කළ ඇයට ඉන්පසුව අසල්වැසි නිවසකින් හිමි වූ ක්‍රිකට් පිත්තකින් ක්‍රීඩාවේ නිරත වූවා ය.

මල්කි කුඩා කල ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූයේ, අසල්වැසි දරුවන් සමග සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙමිනි.

අකුරැස්ස, මාරඹ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ මල්කිගේ ක්‍රිකට් ජීවිතයට ස්වර්ණ දොරටු විවර වූයේ, තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුව ය.

එම විද්‍යාලයේ ගුරුවරුන්ගේ සහ පුහුණුකරුවන්ගේ මග පෙන්වීම ඔස්සේ තවදුරටත් තම දක්ෂතා වර්ධනය කර ගැනීමට මල්කිට හැකි විය.

අනතුරුව පාසලේ ගුරුවරුන්ගේ මැදිහත් වීමෙන් ඇය මාතර දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු වෙත යොමු කෙරිණි. එම හමුවීම ඇගේ ක්‍රිකට් ජීවිතයට තවත් ශක්තියක් එක් කරන්නට සමත් විය.

මල්කි මදාරා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දුෂ්කරතා මැද පැමිණි ගමන

කුලී වැඩ කිරීමෙන් එදිනෙදා ජීවිතය සරි කර ගත් මල්කිගේ මව් පිය යුවළට ඇගේ ක්‍රීඩා අවශ්‍යතා සපුරාලීම කිසිසේත් ම පහසු නොවී ය.

එක් අවස්ථාවක තත්ත්වයෙන් ඉහළ ක්‍රිකට් පිත්තක් තම දියණිය වෙනුවෙන් මිල දී ගැනීම සඳහා මල්කිගේ මව තමන්ට තිබූ එක ම ඉතුරුම් මුදල වූ සමෘද්ධි ඉතුරුම් මුදල ද ලබා ගැනීමට සිදුව තිබිණි.

කුඩා කල තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ ක්‍රීඩිකාවක වුව ද, තමන් වඩාත් දක්ෂතා දක්වන අංශය වන පන්දු යැවීමේ අංශයට වැඩි අවධානයක් යොමු කිරීමට මල්කි යොමු වූයේ, පුහුණුකරුවන්ගේ මග පෙන්වීම ඔස්සේ ය.

ජාත්‍යන්තර වරම් ලැබූ පළමු තරගයේ ම දක්ෂතම ක්‍රීඩිකාව වූ මල්කි

2025 වසරේ මාර්තු 14 වන දා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී නවසීලන්තයට එරෙහිව පැවති පන්දු වාර 20 ක්‍රිකට් තරගයේදී ඇය ජාත්‍යන්තර වරම් දිනා ගත්තා ය.

එම පළමු තරගයේදී ම දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇය කඩුලු 3ක් දවා ගත්තේ, ප්‍රතිවාදීන්ට ලකුණු 14ක් පමණක් ලබා දෙමිනි.

එම තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට ද ඇයට හැකි වීම විශේෂත්වයකි.

2025 වසරේ අප්‍රේල් 27 වන දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව මල්කි, එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තා ය. එම පළමු තරගයේදී ඇයට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැත.

පසුගිය වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති එක්දින තරගාවලියේ 3 වන තරගයේදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මල්කි කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 50ක් ලබා දෙමිනි.

මේ දක්වා එක් දින ජාත්‍යන්තර තරග 15කට ක්‍රීඩා කර ඇති මල්කි, දවාගෙන ඇති කඩුලු ගණන 14කි.

පන්දුවාර 20 ජාත්‍යන්තර තරග 12කට ක්‍රීඩා කළ ඇය, කඩුලු 11ක් දවාගෙන තිබේ.