මනුෂ්‍ය වර්ගයාට කවදා හෝ අභ්‍යවකාශයේදී දරුවන් බිහි කිරීමට හැකි වේවි ද?

A well-developed foetus against a space background, with the Earth in the bottom left corner, the Sun in the top left, and the other planets in the solar system in a row to the right.

ඡායාරූප මූලාශ්‍රය, rbkomar / SCIEPRO/SCIENCE PHOTO LIBRARY via Getty Images

    • Author, ඩේසි ස්ටීවන්ස්
    • Role, බීබීසී ලෝක සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

අජටාකාශගාමී ප්‍රජාව අප හමුවේ දැවැන්ත පොරොන්දු තබමින් සිටිති.

පසුගිය මැයි මාසයේදී නාසා ආයතනය විසින් න්‍යෂ්ටික හා සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන ස්ථිර චන්ද්‍ර කඳවුරක් පිහිටුවීම සඳහා ඩොලර් බිලියන 20ක දැවැන්ත ව්‍යාපෘතියක සැලසුම් සවිස්තරාත්මකව ඉදිරිපත් කළේ ය.

ඔවුන්ගේ ඉලක්කය වන්නේ 2032 වන විට මිනිසුන්ට සඳ මත "අර්ධ-ස්ථිර" නිවාසවල ජීවත් වීමේ හැකියාව ලබා දීමයි.

මීට අමතරව ඉතිහාසයේ පළමු වතාවට මිනිසුන් අඟහරු ග්‍රහයා වෙත යැවීමට ද ඔවුහු සැලසුම් කරති. නාසා ආයතනය පවසන පරිදි එම ගමන සඳහා මාස හතේ සිට දහය දක්වා කාලයක් ගත වනු ඇත.

නමුත් අපට පෘථිවියෙන් බැහැරව දිගුකාලීන වාසස්ථාන පිහිටුවා ගැනීමට අවශ්‍ය නම්, එහිදී වර්ගයා බෝ කිරීමට ද අවශ්‍ය වනු ඇත. ඒ සඳහා අපට අභ්‍යවකාශයේ පවතින නුහුරු නුපුරුදු පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ක්‍රමවේද ගැන සොයා බැලීමට ද සිදු වේ.

A computer generated image showing astronauts and their equipment on the lunar surface.

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, 2032 වන විට මිනිසුන් සඳ මත පදිංචි කරවීමට නාසා ආයතනය අපේක්ෂා කරයි

චුම්බක ක්ෂේත්‍රයකින් සහ ඝන වායුගෝලයකින් ආරක්ෂා වී ඇති පෘථිවිය මෙන් නොව, සඳ සහ අඟහරු වැනි ග්‍රහලෝකවල මතුපිට නිරන්තරයෙන් ම අධික අභ්‍යවකාශ විකිරණවලට නිරාවරණය වේ. එමෙන් ම ඒවා පෘථිවියට වඩා ප්‍රමාණයෙන් කුඩා බැවින් එහිදී අපට අත්දැකීමට සිදුවන ගුරුත්වාකර්ෂණ බලය ද ඉතා අවම මට්ටමක පවතී.

එතැනට ළඟාවීමේ ක්‍රියාවලියේදී මුහුණ දීමට සිදුවන අභියෝග ද තිබේ. දිගුකාලීන අභ්‍යවකාශ ගමන් මගින් මිනිස් සිරුරට සහ එමගින් ප්‍රජනන හැකියාවට බලපෑම් එල්ල විය හැක. නමුත් ඒවා කුමන ආකාරයේ බලපෑම් ද යන්න පිළිබඳව අප තවමත් මුළුමනින් ම වටහාගෙන නොමැත.

වෙනත් ග්‍රහලෝකයකදී හෝ එසේ නොමැතිනම් අභ්‍යවකාශයෙන් එපිට ස්ථානයකදී ගැබ් ගැනීම විද්‍යා ප්‍රබන්ධයක් මෙන් වුව ද, මේ වන විට විද්‍යාඥයින් පිරිසක් මේ පිළිබඳව ඉතා දැඩි අවධානයකින් යුතුව පර්යේෂණ පවත්වමින් සිටිති.

විද්‍යා ප්‍රබන්ධවල සිට විද්‍යාත්මක පර්යේෂණ දක්වා

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ආචාර්ය නිකොල් මැක්ෆර්සන් ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන අතර ඇය එහි පිරිමි සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ ෆ්‍රීමසන්ස් මධ්‍යස්ථානයේ ශුක්‍රාණු සහ කළල ජීව විද්‍යා කණ්ඩායමට නායකත්වය දෙයි.

ඇය අභ්‍යවකාශයේදී දරුවන් බිහි කිරීමේ සංකල්පය පිළිබඳව සොයා බැලීමට පෙළඹුණේ තම සැමියා සමග අභ්‍යවකාශය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නැරඹීමෙන් අනතුරුව ය.

''නිකමට විනෝදයට වගේ කරපු පොඩි විද්‍යා ප්‍රබන්ධ ව්‍යාපෘතියක් විදිහට ආරම්භ වුණු මේ දේ දැන් ඇත්තට ම ප්‍රධාන පර්යේෂණ ක්ෂේත්‍රයක් බවට පත්වෙලා තිබෙනවා," මැක්ෆර්සන් පවසයි.

ඇය පර්යේෂණ කණ්ඩායමක් සමග එක්ව අභ්‍යවකාශයේ පවතින ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ තත්ත්වයන් යටතේ ශුක්‍රාණුවලට ප්‍රජනක මාර්ගය දිගේ ගමන් කිරීමට ඇති හැකියාව මැන බැලීම සඳහා පරීක්ෂණයක් පැවැත්වූවා ය. ඒ සඳහා ඔවුහු කාන්තා ප්‍රජනන පද්ධතියට සමාන වන පරිදි සකස් කළ ව්‍යුහයක් භාවිත කළහ.

එහිදී ඔවුන් සොයා ගත්තේ, සාමාන්‍ය ගුරුත්වාකර්ෂණ තත්ත්වයන් යටතේ ගමන් කළ ශුක්‍රාණුවලට සාපේක්ෂව, ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය හමුවේ පර්යේෂණ ව්‍යුවහයේ අවසානයට ළඟා වීමට හැකි වූයේ 50%ක් තරම් අඩු ශුක්‍රාණු ප්‍රමාණයකට පමණක් බවයි. ඇතැම් ශුක්‍රාණුවලට ගමන් මාර්ගය මගහැරී තිබිණි.

මෙම අධ්‍යයනය අඟහරු වැනි සුවිශේෂී ග්‍රහලෝකවල පවතින ගුරුත්වාකර්ෂණ තත්ත්වයන් ප්‍රතිනිර්මාණය නොකළ ද, ශුක්‍රාණුවල සාමාන්‍ය හැසිරීම් රටාව සඳහා පෘථිවියේ ගුරුත්වාකර්ෂණ භූමිකාව කෙතරම් දුරට බලපාන්නේ ද යන්න පැහැදිලි වන බව මැක්ෆර්සන් පවසයි.

"ස්වභාවික පිළිසිඳ ගැනීමකදී ශුක්‍රාණුවලට ගමන් කරන්න ගුරුත්වාකර්ෂණ බලය වැදගත් මූලික කාර්යභාරයක් ඉටු කරන බව මෙයින් මනාව පැහැදිලි වෙනවා," ඇය පවසයි.

ගුරුත්වාකර්ෂණය නිසා ඇති වන අභියෝග බලපාන්නේ සංසේචන ක්‍රියාවලියට පමණක් නොවේ. පර්යේෂකයෝ මුල් පැය 24 තුළ මීයන්ගේ කළල වර්ධනය කෙරෙහි ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ බලය දක්වන බලපෑම පිළිබඳව ද අවධානය යොමු කළහ.

"අපි දුටුවේ ඉතා අහිතකර ප්‍රතිඵල. එනම් කළලයේ වර්ධනය දුර්වල වූ අතර එම මුල් අවධියේ පසුවන කළලවල ලක්ෂණ ද ඉතා පහත් මට්ටමක තිබුණා," මැක්ෆර්සන් පවසයි.

"ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය මගින් සෛල විභජනය, ඒවා ක්‍රමවත්ව සැකසීම සහ සෛල අතර සිදුවන සන්නිවේදනය අඩාල කරනවා. මේවා සංසේචනයට සහ කළලයක මුල්කාලීන වර්ධනයට අත්‍යවශ්‍ය ම ක්‍රියාවලීන්," නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙකු වන වෛද්‍ය ෆාති කරූයියා පවසයි.

විකිරණවලට නිරාවරණය වීම

අභ්‍යවකාශයේ පවතින දෙවන ප්‍රධානතම අභියෝගය වන්නේ විකිරණයි.

පිරිමින්ගේ ශුක්‍රාණු සහ කාන්තාවන්ගේ ඩිම්බ බවට පත්වන සුවිශේෂී සෛල සමූහය විනාශ කිරීමට මෙම විකිරණ ඍජුව ම බලපාන බව මේ වනවිටත් දන්නා කරුණකි.

පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය මගින් අභ්‍යවකාශයේ ඇති දරුණු විකිරණවලින් අපව ආරක්ෂා කරන නමුත් අඟහරු ද ඇතුළුව පෘථිවි චුම්බක ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගිය විට තත්ත්වය සාපේක්ෂව වෙනස් වේ.

තුර්කියේ සෞඛ්‍ය විද්‍යා විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන වෛද්‍ය අබ්දුර්රහ්මාන් එන්ගින් පවසන පරිදි සුපර්නෝවා ලෙස හැඳින්වෙන තරු පිපිරී යාම වැනි විශ්වීය සංසිද්ධි හේතුවෙන් ගැලැක්ටික් කොස්මික් විකිරණ (GCR) හටගනී.

මෙම පිපිරීම්වලින් නිකුත් වන අංශුවලට, අභ්‍යවකාශ යානාවල ආරක්ෂිත ආවරණ පවා විනිවිද යමින් මිනිස් සිරුරේ පටක තුළට ගැඹුරින් කිඳා බැසීමේ හැකියාවක් පවතී. මෙම තත්ත්වය පෘථිවියේදී අපට මුහුණ දීමට සිදුවන විකිරණවලට වඩා බෙහෙවින් ප්‍රබල වේ.

අනාගතයේදී සිදුකෙරෙන අඟහරු සංචාරයකදී කාන්තාවක ගැබ්ගතහොත්, ඇය නිරාවරණය වන කොස්මික් විකිරණ ප්‍රමාණය, පෘථිවියේදී ගැබ්ගැනීමකට ආරක්ෂිත යැයි සම්මත කර ඇති විකිරණ මට්ටමට වඩා වැඩිවේ ද යන්න පිළිබඳ සරල ගැටලුව විසඳා ගැනීමට ඔහු අධ්‍යයනයක නිරත විය.

"අවාසනාවකට, පෙනෙන්නට තිබුණේ 'ඔව්' කියන එකයි" ඔහු පවසයි.

Close-up view of Mars showing a reddish surface with visible craters and surface features.

ඡායාරූප මූලාශ්‍රය, DrPixel via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පෘථිවියට සාපේක්ෂව අඟහරු මතුපිට ගුරුත්වාකර්ෂණය බෙහෙවින් දුර්වල ය

පෘථිවියේ සිට අඟහරු බලා යන මාස හයකට ආසන්න කාලයක් ගතවන ගමනේදී ගර්භණී ගගනගාමී කාන්තාවකගේ සිරුරට මිලිසීවර්ට් 90ත් 300ත් අතර එකතු වූ විකිරණ ප්‍රමාණයක් ඇතුළු විය හැකිය.

එය ගර්භණී සමයේදී වෘත්තීයමය වශයෙන් ශරීරයට ඇතුළු විය හැකි ආරක්ෂිත විකිරණ සීමාව ලෙස ඇමෙරිකානු ජාතික විකිරණ ආරක්ෂණ සහ මිනුම් පිළිබඳ කවුන්සිලය නිර්දේශ කර ඇති මිලිසීවර්ට් පහේ සීමාව අතිවිශාල ප්‍රමාණයකින් ඉක්මවා යාමකි.

මෙවැනි ඉහළ විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වීම, වර්ධනයේ මුල් අවධියේ පවතින කළලවලට දැඩි අවදානමක් මතු කළ හැකි අතර ඒවායේ DNA ව්‍යුහයන්ට ද හානි කළ හැක.

"කළලයක මුල් වර්ධන අවධියේදී සෛල විභජනය සහ ඉන්ද්‍රියයන් නිර්මාණය වීම ඉතා වේගයෙන් සිදුවනවා. ඒ නිසා DNA ව්‍යුහයන්ට, ඒවා ස්වභාවිකව අලුත්වැඩියා වීමේ ක්‍රියාවලියට හෝ සෛලීය වර්ධනයට සිදුවන සුළු බාධාවකින් පවා ජීවිත කාලය පුරා ම පවතින අහිතකර බලපෑම් එල්ල වෙන්න පුළුවන්," එන්ගින් පවසයි.

එම අවදානම් තත්ත්වයන් අතර ගබ්සා වීම්, කළලයේ වර්ධනය බාල වීම, උපතේදී පවතින විකෘතිතා, ස්නායු පද්ධතියේ ආබාධ සහ එම දරුවා වැඩුණු වූ පසු පිළිකා වැළඳීමේ ප්‍රවණතාව ඉහළ යාම වැනි දරුණු ප්‍රතිඵල තිබිය හැකි ය.

View of Earth from space, with the edge of the planet lit against a star-filled background.

ඡායාරූප මූලාශ්‍රය, DrPixel via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පෘථිවියේ වායුගෝලය අප දරුණු විකිරණවලින් ආරක්ෂා කරයි

අභ්‍යවකාශ යානාවල ආරක්ෂිත ආවරණ ශක්තිමත් කිරීම හෝ සූර්ය චක්‍රයේ විශේෂිත කාල වකවානු සැලකිල්ලට ගනිමින් ගමන්වාර සැලසුම් කිරීම වැනි තාක්ෂණික උපක්‍රම මගින් මෙම අවදානම යම් මට්ටමක් දක්වා අඩු කරගත හැකි වුව ද, ගැලැක්ටික් කොස්මික් විකිරණ සම්පූර්ණයෙන් ම වැළැක්වීම අතිශය දුෂ්කර බව වෛද්‍ය එන්ගින් වැඩිදුරටත් සඳහන් කරයි.

කරූයියාට අනුව විකිරණ සහ ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය යන සාධක දෙක ම එකතු වූ විට ජීව විද්‍යාවේ මූලික ම ව්‍යුහයන්ට බලපෑම් එල්ල වේ. එහෙත්, අභ්‍යවකාශයේදී මුහුණ දීමට සිදුවන අභියෝග ඉන් අවසන් නොවේ.

"අභ්‍යවකාශ සංචාර ඔස්සේ සිරුරේ හෝමෝන නියාමනය, නින්දේ රටාවන් සහ ජීව විද්‍යාත්මක ඔරලෝසුව මුළුමනින් ම අවුල් කරනවා. මේ සෑම ක්‍රියාවලියක් ම ප්‍රජනක සෞඛ්‍යය සමග ඍජුව ම බද්ධ වී පවතිනවා" ඔහු පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම අහිතකර සාධක සියල්ල එකට එකතු වූ විට, ශුක්‍රාණුවල සහ ඩිම්බ කෝෂ තුළ ඇති ඩිම්බවල ගුණාත්මකභාවයේ සිට ගැබ්ගැනීමේදී කළලයේ වර්ධනයට අත්‍යවශ්‍ය වන හෝමෝන ක්‍රියාකාරීත්වය දක්වා වූ සෑම පද්ධතියක් ම අඩාළ විය හැකි බව ය.

ජීව විද්‍යාවෙන් උගත් පාඩම්

පෘථිවියෙන් ඔබ්බට මිනිස් ජීවය පවත්වාගෙන යාම පිළිබඳව සිතීමේදී, මිනිසාට අභ්‍යවකාශය තුළ ප්‍රජනන ක්‍රියාවලියේ යෙදිය හැකි ද යන්න වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ.

නමුත් මෙය හුදෙක් ප්‍රජනනය පිළිබඳ ගැටලුවක් පමණක් නොව, අජටාකාශගාමීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ සොයාබැලීමේදී ද අදාළ වන බව ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ අණුක සහ සෛලීය ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෑන් බර්න්ඩ් ස්ටුකෙන්බර්ග් පවසයි.

මිනිසුන් තවමත් අභ්‍යවකාශය තුළ දරුවන් බිහි නොකළ ද අජටාකාශගාමීන් මෙන් ම ඔවුන්ගේ ප්‍රජනක සෛල දැනටමත් මෙම අහිතකර තත්ත්වයන්ට නිරාවරණය වෙමින් පවතින බව ඔහු පෙන්වා දෙයි. එබැවින්, විකිරණ මගින් ප්‍රජනක සෛලවලට සිදුවන බලපෑම පිළිබඳව කෙරෙන පර්යේෂණ, එම සෛල ආරක්ෂා කරගත හැකි ක්‍රමවේදයන් සොයා ගැනීමට උපකාරී වනු ඇත.

"අභ්‍යවකාශ සංචාරයක් අතරතුරදී ශරීරයේ සමේ සෛලයකට ගැටලුවක් ඇති වුවහොත්, ඔබ මියයන විට එම සෛලයත් ඔබ සමග ම විනාශ වී යනවා" ස්ටුකෙන්බර්ග් පවසයි.

නමුත් අජටාකාශගාමීන් දැනට අභ්‍යවකාශය තුළ ප්‍රජනන ක්‍රියාවලියක නිරත වීමට උත්සහ නොකළ ද ඔවුන්ගේ ප්‍රජනක සෛලවලට සිදුවන හානිය ඊළඟ පරම්පරාවට පවා උරුම වීමේ හැකියාව පවතී.

"අන්න ඒ නිසයි මම හිතන්නේ මේ වගේ පර්යේෂණ අතිශයින් ම වැදගත් කියලා," ඔහු පවසයි.

Rocket launching from a pad at night with bright flames and smoke surrounding the structure.

ඡායාරූප මූලාශ්‍රය, VCG / Contributor via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අපගේ විශ්වය තවදුරටත් ගවේෂණය කිරීමට අවශ්‍ය නම් අභ්‍යවකාශයේදී ප්‍රජනනය සඳහා ඇති අභියෝග තේරුම් ගැනීම අත්‍යවශ්‍ය බව විශේෂඥයෝ පවසති

මැක්ෆර්සන් පවසන පරිදි මෙම ක්ෂේත්‍රය ඔස්සේ තවදුරටත් සිදු කෙරෙන පර්යේෂණ මගින් මිනිස් ජීව විද්‍යාව පිළිබඳ මීට වඩා ගැඹුරු සහ මූලික කරුණු රැසක් වටහා ගැනීමට අපට මග පෑදෙනු ඇත.

උදාහරණයක් ලෙස ඇයගේ පර්යේෂණවලින් හෙළි වූයේ මෙම පරීක්ෂණාත්මක ව්‍යුවහයේ කෙලවරට ම ළඟා වීමට සමත් වූ ශුක්‍රාණුවලට, පැලෝපීය නාළ තුළදී ඩිම්බයක් සංසේචනය කිරීමට මෙන් ම මුල් කාලීන කළල වර්ධනයට ද උපකාරී වන විශේෂිත ලක්ෂණ පවතින බවයි.

"මේ විදිහට සාර්ථකව අවසානය දක්වා ම ගමන් කරන්න පුළුවන් ශුක්‍රාණුවල තියෙන සුවිශේෂීත්වය මොකක් ද කියලා අපිට තවත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් නම් නළ දරු උපත් තාක්ෂණයේදී වගේ ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිදුකරන කෘත්‍රිම සංසේචනය වැනි කටයුතුවලදීත් වඩාත් ම ගුණාත්මක ශුක්‍රාණු තෝරාගන්න අපිට පුළුවන් වෙනවා," ඇය පවසයි.

පිරිමි පාර්ශවය වෙත ඇති නැඹුරුව

මීට අමතරව වර්තමානයේ වැඩි කාන්තාවන් ගණනක් අභ්‍යවකාශය වෙත ගමන් කරන බැවින්, පර්යේෂණවල පවතින පිරිමි පාර්ශවයට පමණක් බර තැබීමේ නැඹුරුව මගහැරවීම සඳහා අභ්‍යවකාශයේදී සිදුවන ප්‍රජනන ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයන තවදුරටත් පුළුල් කළ යුතු බව විද්‍යාඥයෝ පිළිගනිති.

ස්ටුකෙන්බර්ග් පෙන්වා දෙන පර්යේෂණ දත්තවලට අනුව දීර්ඝ අභ්‍යවකාශ සංචාරවල නිරත වන කාන්තා ගගනගාමීහු තම ඔසප් චක්‍රය තාවකාලිකව නතර කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ම උපත් පාලන පෙති භාවිතා කරති.

නමුත් අභ්‍යවකාශ පරිසරය කාන්තාවන්ගේ ඔසප් චක්‍රයට බලපාන්නේ කෙසේ ද යන්න සොයා බැලීම සඳහා තවදුරටත් පුළුල් විමර්ශනයක් අවශ්‍ය බව මැක්ෆර්සන් පවසයි.

"ඒ පිළිබඳව නිසි තක්සේරුවක් කරන්න තවමත් අපිට අවස්ථාව ලැබිලා නැහැ," ඇය පවසයි.

Person in a blue uniform looking out a small round window, with Earth visible outside.

ඡායාරූප මූලාශ්‍රය, Soshi Yamada via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ කාන්තාවෝ අභ්‍යවකාශ ගමන්වලදී උපත් පාලන ක්‍රම භාවිත කරමින් ඔසප් චක්‍රය පාලනය කරති

කරූයියා පවසන පරිදි අභ්‍යවකාශයේ පවතින විකිරණ හේතුවෙන් ඩිම්බ කෝෂවල ක්‍රියාකාරිත්වයට බලපෑම් එල්ල විය හැකි අතර, ගුරුත්වාකර්ෂණයක් නොමැති තත්ත්වය නිසා ඩිම්බ මේරීමේ ක්‍රියාවලියට ද බාධා ඇති විය හැකි බවට සාක්ෂි තිබේ.

ඔහු පවසන පරිදි, මේ සම්බන්ධයෙන් අප සතු දැනුමේ පවතින විශාලතම අඩුවක් වන්නේ ගර්භණීභාවය පිළිබඳවයි.

"ක්ෂීරපායී සතෙකුගේ ගැබ්ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම අභ්‍යවකාශය තුළදී සිදු වුවහොත් එය කෙලෙස සිදුවේ ද යන්න පිළිබඳව එනම් කළලය ගර්භාෂය තුළ තැන්පත් වීම, වැදෑමහ වර්ධනය වීම සහ ශරීරයේ ඉන්ද්‍රියයන් නිර්මාණය වීම වැනි කරුණු සම්බන්ධයෙන් නූතන විද්‍යාත්මක දත්ත අප සතුව ඇත්තේ ම නැති තරම්," ඔහු පවසයි.

කෙසේ වෙතත්, මේ පිළිබඳව උනන්දුවක් දක්වන සැවොම එකඟ වන කරුණක් වන්නේ මෙම ක්ෂේත්‍රය තුළ තවමත් කළ යුතු පර්යේෂණ විශාල ප්‍රමාණයක් පවතින බව සහ ඒවා සිදු කිරීම අත්‍යවශ්‍ය බව ය.

"මේක සාකච්ඡාවට තහනම් මාතෘකාවක් විය යුතු නැහැ... අපි දැන් ඉඳලා ම මේ ගැන හිතන්න පටන් ගන්න ඕනේ," ස්ටුකෙන්බර්ග් පවසයි.