පරම ප්‍රතිවාදීන්ගේ සටනට වර්ෂාව හරස් වෙයි

India
Published

ඉතා උද්වේගකර ආරම්භයකින් යුක්තව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ අද (සැප්තැම්බර් මස 02 වෙනිදා) ආරම්භ වූ ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට විනිසුරුවන් විසින් තීරණය කරන ලදී.

ඒ අනුව අද තරගයේ ප්‍රසාද ලකුණු කණ්ඩායම් දෙක අතර බෙදී යනු ඇත. කාසියේ වාසිය දිනු ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

Ind- Pak

වේග පන්දුව හමුවේ කඩා වැටුණු ඉන්දීය මුල් පෙළ

ෂහින් අෆ්රිඩි සහ හැරිස් රාවුෆ්ගේ වේග පන්දු හමුවේ පළපුරුදු ඉන්දීය මුල් පෙළ පිතිකරුවන්ට අද තරගයේදී සුපුරුදු අයුරින් ලකුණු අතරට ඒමට නොහැකි විය.

ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා ලකුණු 11 කට, විරාට් කෝලි ලකුණු 04 කට, ෂෙරෙයිස් අයියර් ලකුණු 14 කට සහ ෂුබ්මන් ගිල් ලකුණු 10 කට දැවී ගියේ ඉන්දීය ලකුණු පුවරුව පන්දු වාර 14.1 කදී ලකුණු 66ක් ලෙස සටහන්ව තිබියදීයි.

දැඩි පීඩනයකට නතුව සිටි අවස්ථාවේදී පකිස්ථාන පන්දු රකින්නන් අවස්ථා කිහිපයකදී දැක්වූ අලස පන්දු රැකීමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් ඉන්දීය පිතිකරුවන් නැවත ක්‍රමයෙන් තරගයේ ස්ථාවරත්වය තමන් අතට ගැනීමට සමත් විය.

ලකුණු 66 කට කඩුලු 04ක් දැවී ගොස් තිබියදී පිටියට එක්වූ ඉෂාන් කිෂාන් සහ හර්දික් පාන්ඩයා විසින් පස්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 138 ක් එක් කිරීමට සමත් විය.

ඒ, පකිස්ථාන පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීම හේතුවෙනි. හතරේ පහරවල් 09ක් සහ හයේ පහරවල් දෙකක් සමගින් ඉෂාන් කිෂාන් පන්දු 81 කදී ලකුණු 82ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 66 කට කඩුලු 04ක් දැවී ගොස් තිබියදී පිටියට එක්වූ ඉෂාන් කිෂාන් සහ හර්දික් පාන්ඩයා විසින් පස්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 138 ක් එක් කිරීමට සමත් විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, ලකුණු 66 කට කඩුලු 04ක් දැවී ගොස් තිබියදී පිටියට එක්වූ ඉෂාන් කිෂාන් සහ හර්දික් පාන්ඩයා විසින් පස්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 138 ක් එක් කිරීමට සමත් විය.

යළි ක්‍රියාත්මක වූ පකිස්ථාන වේග පන්දු බල ඇණිය

පන්දු වාර 37.3 කදී ලකුණු 204ක් ලකුණු පුවරුවේ සටහන්ව තිබියදී ඉන්දීය කණ්ඩායමේ 5 වන කඩුල්ල ලෙස ඉෂාන් කිෂන් දවා ගැනීමට හැරිස් රාවුෆ් සමත් විය.

ඉන් පසුව පන්දු 90 කදී ලකුණු 87ක් ලබා ගෙන සිටි හර්දික් පාන්ඩයා ගේ කඩුල්ල 43 වන පන්දු වාරයේදී දවා ගැනීමට ෂහින් අෆ්රිඩි සමත් විය.

ඉන් පසුව ක්‍රියාත්මක වූ අෆ්රිඩි විසින් එම ඕවරයේ අවසන් පන්දුවේදී රවින්ද්‍ර ජඩේජා දවා ගනු ලැබීය.

ඉන් අනතුරුව නසීම් ෂා ගේ පන්දුවකට උඩ පන්දුවක් ලබා දෙමින් ෂාර්දුල් ඨාකුර් ලකුණු 03 කට දැවී ගියේය.

ඒ අනුව පන්දු වාර 48.5 කදී ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 266ක් පමණි.

ඉන්දිය කණ්ඩායමේ අවසන් කඩුලු 06 ලකුණු 62ක් තුලදී දවා ගැනීමට පකිස්ථාන වේග පන්දු යවන්නන් සමත් විය.

පන්දු යැවීමේදී ෂහින් අෆ්රිඩි ලකුණු 35 කට කඩුලු 04ක් සහ නසීම් ෂා සහ හැරිස් රාවුෆ් කඩුලු 03 බැගින් දවා ගැනීමට සමත් විය.

ඉන්දීය කණ්ඩායමේ ඉනිම අවසන් වීමත් සමග පල්ලේකැලේ ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැලීම හේතුවෙන් රාත්‍රී 9.50 ට පමණ තරගය අත්හිටුවීමට විනිසුරුවන් විසින් තීරණය කළේය. ඒ අනුව කණ්ඩායම් දෙක අතර ප්‍රසාද ලකුණු බෙදී යනු ඇත.