චන්දන කත්‍රීආරච්චි යනු කවුද? ඔහු අත්අඩංගුවට ගත්තේ ඇයි?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ චන්දන කත්‍රීආරච්චි, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබී ය.

පොලිසිය ප්‍රකාශ කළේ, අවි ආයුධ තොගයක් සමග ඔහු අත්අඩංගුවට ගත් බව ය.

ජීව අත්බෝම්බයක්, ටී - 56 වර්ගයේ මැගසින් දෙකක්, ටී - 56 ජීව පතරොම් 221ක්, 0.22 වර්ගයේ පතරොම් 103, 84S වර්ගයේ ජීව පතරොම් 31ක් සහ බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමග ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, අප්‍රේල් 16 වන දා ය.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරුක් මත කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත පිළියන්දල පොලිස් වසමේ මාම්පේ ප්‍රදේශයේ පිහිටි හිටපු මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී අදාළ අවි ආයුධ තොගය සොයා ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබිණි.

අදාළ සිද්ධිය සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරන බවත්, අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයා අප්‍රේල් 16 වන දා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගන්නා ලද සැකකාර හිටපු මන්ත්‍රීවරයා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නැතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය බීබීසී සිංහල සේවය අප්‍රේල් 17 වන දා උදෑසන කළ විමසීමකදී පැවසීය.

මිනීමැරුම් චෝදනා

හිටපු මන්ත්‍රීවරයාට මීට පෙර පුද්ගල ඝාතන චෝදනා එල්ල වී තිබූ අතර නීතිපතිවරයා විසින් පසුව එම චෝදනා ඉවත් කර ගන්නා ලදී.

බෝකුන්දර විවිධ සේවා සමූපකාර නිලවරණයට නාමයෝජනා ලබා දීමට චන්දන කත්‍රිආරච්චි ඇතුළු පිරිසක් ගමන් ගත් අවස්ථාවේදී එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ගාමිණී ලොකුගේ ආධාරකරුවන් පිරිසක් සමග ගැටුමක් ඇති වූ අතර එහිදී සිදුවූ වෙඩි තැබීමකින් කේ.ඩී. චන්ද්‍රරත්න නමැත්තෙක් මරණයට පත් විය.

එම මරණය සම්බන්ධයෙන් චන්දන කත්‍රිආරච්චි ඇතුළු පිරිසකට මිනීමැරුම් චෝදනා එල්ල වූ අතර පසුව එවකට නීතිපතිවරයා විසින් එම චෝදනා ඉවත් කර ගනු ලැබී ය.

අත්හිටවූ සිරදඬුවම්

එවකට නීතිපතිවරයා මිනිමැරීමේ චෝදනාව ඉවත් කර ගැනීමෙන් පසුව නීති විරෝධී රැස්වීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් වරදකරුවන් බව විත්තිකරුවන් පිළිගත් අතර, ඒ අනුව චන්දන කත්‍රිආරච්චි ඇතුළු සිව් දෙනෙකුට වසර 10කට අත්හිටවූ බරපතළ වැඩ සහිත මාස 5ක සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ 2011 වසරේදී තීන්දු කළා ය.

ඊට අමතරව කත්‍රිආරච්චි ඇතුළු පිරිසට රුපියල් 5000ක දඩයක් ද නියම කෙරුණු අතර, අදාළ සිදුවීමේදී මරණයට පත්වූ කේ.ඩී. චන්ද්‍රරත්න නමැති අයගේ පවුලේ උදවියට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට අධිකරණය විසින් නියම කරන ලදී.

එසේ ම, එම සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකුට රුපියල් 25,000ක වන්දියක් ගෙවන ලෙස ද අධිකරණය නියෝග කළේ ය.

විජය කුමාරතුංගගේ පක්ෂයෙන් දේශපාලනයට පිවිසීම

ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් දේශපාලනයට පිවිස ඇති චන්දන කත්‍රිආරච්චි පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක ධූරය මෙන් ම නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ද දැරුවේ ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2000 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය.

පාර්ලිමේන්තු වෙබි අඩවියේ සඳහන් පරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන, හතරවන සහ පස්වන පාර්ලිමේන්තු නියෝජනය කර ඇත.

එමෙන් ම, ඔහු වසර 2000 - 2001 කාල සීමාවේදී නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ පොදු ප්‍රයෝජ්‍යතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

හිටපු මන්ත්‍රීවරයා 2024 වසරේදී කොළඹ දිස්ත්‍රික්කයේ, කැස්බෑව ආසනය නියෝජනය කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුව ද ඉන් ජය ගැනීමට අසමත් විය.