චෙම්මනි කැණීම් වලින් කුඩා දරුවෙකුගේ බවට සැක අස්ථි කොටස් නැවතත් හමුවෙයි; සමූහ මිනීවලෙන් මෙතෙක් හමුව ඇත්තේ මොනවා ද?

සමූහ මිනිවළේ 06 වන අදියරේ මේ දක්වා කැනීම් තුළින් කුඩා දරුවෙකුගේ බවට සැක කරන අස්ථි කොටස් කිහිපයක් හමුව තිබේ.
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළේ කැණීම්වලින් කුඩා දරුවෙකුගේ බවට සැක කරන අස්ථි කොටස් කිහිපයක් හමුව ඇතැයි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනීතා ඥානරාජ් බීබීසී සිංහල සේවයට පැවසුවා ය.

මේ වන විට ආරම්භ වී ඇති කැණීම්වල හයවන අදියරේ 09 දිනය අවසන්වන විට සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 256කට අදාළ අස්ථි කොටස් හදුනාගෙන ඇති අතර, ඉන් මිනිස් සිරුරු 252කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීම සිදුකළ බව ඇය පැවසුවා ය.

මේ දක්වා සිදු කළ කැණීම් තුළින් කුඩා දරුවෙකුගේ බවට සැක කරන අස්ථි කොටස් කිහිපයක්, රන් භාණ්ඩයක කොටසක් සහ කාසි කිහිපයක් ද හමුව ඇති බව නීතිඥවරිය පවසයි.

හයවන අදියරේ 09 වන දිනයේ කැණීම් මැයි 06 වන දින, යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ සිදු විය.

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනී වළේ හයවන අදියරේ කැණීම් අප්‍රේල් 27 නැවත ආරම්භ කෙරිණි.

චෙම්මනි සමූහ මිනී වළ
ඡායාරූප ශීර්ෂ වැකිය, චෙම්මනි සමූහ මිනී වළ

පස්වන අදියරේදී සිදුවුණු කැණීම් කටයුතු

සමූහ මිනී වළේ පස්වන අදියරේ කැණීම් කටයුතු 2025 අගෝස්තු 25 වන දා ආරම්භ කළ අතර එහිදී මිනිස් සිරුරු 90කට අදාළ අස්ථි කොටස් මතු කර ගෙන තිබිණි.

මෙහි පස්වන අදියරේ කැණීම් කටයුතු අවසන් වූයේ, 2025 සැප්තැම්බර් 6 වන දා ය.

ඉකුත් වසරේ අග භාගයේ ඇති වූ දිට්වා සුළි කුණාටු තත්ත්වය සහ වැසි තත්ත්වය හේතුවෙන් කැණීම් ස්ථානයේ ජලය පිරී පැවතීම මත කැණීම් කටයුතු නතර කෙරිණි.

ඒ වන විට, සමූහ මිනී වළ තුළින් මේ දක්වා මිනිස් සිරුරු 240ක අස්ථි කොටස් මතු කර ගෙන තිබූ අතර, ඉන් සිරුරු 239කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බව කැණීම් නිලධාරීහු පැවසූහ.

ඔවුන් තවදුරටත් සඳහන් කළේ, මෙම ස්ථානයේ සිදු කළ ස්කෑන් පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගනිමින් හයවන අදියර කැණීම් කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බව ය.

යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මෙහි කැණීම් සිදු කළහ.

ඉන් හමුවූ අස්ථි කොටස් සහ භාණ්ඩ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ තබා තිබේ.

නිලධාරීන් 6 වන අදියරේ කැණීම් නිරීක්ෂණය කරන අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, නිලධාරීන් 6 වන අදියරේ කැණීම් නිරීක්ෂණය කරන අයුරු

චෙම්මනි කැණීම්

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී එහි සේවයේ නිරත වූ පිරිසකට පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු විය.

Image copyright by BBC

Image copyright by BBC

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ පළමු අදියරේ කැණීම් කටයුතු ආරම්භ විය.

දිනය අවසන් වන විට මිනිස් හිස් කබල් දෙකක කොටස් මතු කර ගැනීමට හැකි වූ අතර, වර්ෂාව හේතුවෙන් පළමු අදියරේ කැණීම් කටයුතු තාවකාලිව නවතා දැමිණි.

Image copyright by BBC

සුසාන භූමියේ දෙවන අදියරේ කැණීම් ආරම්භ විය.

Image copyright by BBC

විශේෂඥ කමිටුව සිදු කළ කැණීම්වලින් තවත් අස්ථි කොටස් කිහිපයක් මතු කර ගැනිණි.

Image copyright by BBC

දෙවන අදියරේ කැණීම් කටයුතු අවසන් කළ අතර, මිනිස් සිරුරු 19කට අයත් අස්ථි කොටස් හමුවිය.

Image copyright by BBC

මිනිස් අස්ථි කොටස් සොයා ගැනීම ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීම් කරමින් උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ සංගමය හා උතුරු පළාතේ සිවිල් සංවිධාන රැසක් තෙදින විරෝධතාවක් ආරම්භ කළේ ය.

Image copyright by BBC

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මෙම සුසාන භුමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

Image copyright by BBC

තෙවන අදියරේ කැණීම් කටයුතු ආරම්භ විය.

Image copyright by BBC

- කාන්තාවකගේ යැයි සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් මතු කර ගත් අතර එම කාන්තාවගේ පපු ප්‍රදේශය ආසන්නයේ කුඩා දරුවෙකුගේ යැයි සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් තිබී හමු විය.

- පාසල් බෑගයක් සහ ඒ අසල කුඩා දරුවෙකුගේ මළ සිරුරකට අයත් බවට සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් තිබී හමුවිය.

- රබර් බෝනික්කෙකු, සපත්තු යුගලක්, කුඩා දරුවන් පළනඳින වළලු යුගලක්, මිනිස් ඇඳුම් කොටස් කිහිපයක් ද තිබී හමුවිය.

Image copyright by BBC

තුන්වන අදියරේ කැණීම් කටයුතු අවසන් වන විට මිනිස් සිරුරු 65ක අදාළ අස්ථි කොටස් මතු කර ගෙන තිබිණි.

Image copyright by BBC

චෙම්මනි සුසාන භූමියෙන් මතු වන අස්ථි කොටස් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා කොළඹදී විරෝධතාවක් පැවැත්විණි.

Image copyright by BBC

සිව්වන අදියරේ කැණීම් කටයුතු ආරම්භ විය.

Image copyright by BBC

මිනිස් සිරුරු 85කට අදාළ අස්ථි කොටස් හමු වූ අතර ඇදුම් කොටසක්, කුඩා බෝතලයක් හා දරුවන්ගේ යැයි සැක කරන අස්ථි කොටස් කිහිපයක් ද හමු වූ බව කැණීම් කටයුතු නිරීක්ෂණය කරන අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී. නිරංජන් පැවසුවේ ය.

Image copyright by BBC

කැණීම්වලින් තවත් මිනිස් සිරුරු තුනකට අදාළ අස්ථි කොටස් හමු වී ඇති අතර ඒ අනුව මේ වන විට මිනිස් සිරුරු 88කට අදාළ අස්ථි කොටස් හමු වී තිබේ.

Image copyright by BBC

මිනිස් සිරුරු සංඛ්‍යාව 104ක් දක්වා ඉහළට.

Image copyright by BBC

මිනිස් සිරුරු සංඛ්‍යාව 130ක් දක්වා ඉහළට. අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව හමුවූ මිනිස් අස්ථි නොවන අනෙකුත් ද්‍රව්‍ය අගෝස්තු 5 වන දා හදුනා ගැනීම සඳහා මහජන ප්‍රදර්ශනයට තැබීමට අවසර ලැබීම.

Image copyright by BBC

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ විශේෂඥ කණ්ඩායමක් විසින් චෙම්මනි මිනිස් අස්ථි කොටස් හමුවූ භූමිය ස්කෑන් පරීක්ෂාවට ලක් කෙරේ.

Image copyright by BBC

කැණීම් තාවකාලිකව නතර කෙරුණු අතර කැණීම් අවසන් වන විට මිනිස් සිරුරු 147කට අදාළ අස්ථි කොටස් සොයා ගැනිණි. මීළඟ අදියර අගෝස්තු 22 වන දා නැවත ආරම්භ කිරීමට නියමිත ය.

Image copyright by BBC

කැණීම් කටයුතු අවම වශයෙන් තවත් සති 8ක පමණ කාලයක් සිදුකළ යුතු බවට විශේෂඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටීම සහ ස්කෑන් වාර්තාව හා කැණීම් කටයුතු පිළිබඳ විමර්ශන වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම

Image copyright by BBC

පස්වන අදියරේ කැණීම් ඇරඹේ.

හමුවූ මිනිස් සිරුරු ගණන 166ක් දක්වා ඉහළට.

චෙම්මනි සමූහ සුසානය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිර්දේශ 16ක් ඇතුළත් වාර්තාවක් නිකුත් කරන ලදී.

Image copyright by BBC

සමූහ සුසානයේ පස්වන අදියරේ කැණීම් අවසන් කෙරිණි. මෙම අදියර අවසන් වන විට මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් සොයා ගැනිණි.

Image copyright by BBC

අස්ථි කොටස් මතුවීම

චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයක සිදු කළ කැණීමකින් මළ සිරුරු 5කට අයත් අස්ථි කොටස් කිහිපයක් හමුවූ බව යාපනය පොලිසිය පැවසුවේ 2025 වසරේ ජූනි 2 වන දා ය.

මෙම සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී එහි සේවයේ නිරත වූ පිරිසකට 2025 පෙබරවාරි මස 20 වන දා පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබිණි.

අදාළ අස්ථි කොටස් හමුවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් යාපනය පොලිසිය දැනුවත් කිරීමට සංවර්ධන කටයුතු භාර නිලධාරීන් පියවර ගෙන තිබුණු අතර ඉන් අනතුරුව එහි කැණීම් කටයුතු ආරම්භ විය.

පැවති වැසි තත්ත්වය මත අදාළ ස්ථානයේ කැණීම් කටයුතු කිරීමට නොහැකි වූ අතර, වැසි තත්ත්වය අඩු වීමෙන් පසු යාපනය පොලිසිය, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග මත අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් සිදුකිරීමට නියෝගයක් ලබා ගත්තේ ය.

චෙම්මනි සමූහ මිනී වළ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

උතුරු පළාතෙන් හමුවී ඇති සමූහ මිනී වළවල්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු පළාතේ ස්ථාන කිහිපයකින් සමූහ මිනී වළවල් හමුවූ අතර, අදාළ ස්ථානවල කැණීම් කටයුතු විටින්විට සිදු කෙරිණි.

2013 වසරේදී මන්නාරම, තිරුකේදීශ්වරන් ප්‍රදේශයෙන් සමූහ මිනී වළක් හමුවූ අතර, අදාළ සමූහ මිනී වළෙන් මිනිස් සිරුරු 88කට ආසන්න ගණනකට අයත් අස්ථි කොටස් ගොඩ ගැනිණි.

ඉන් අනතුරුව මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල ආසන්නයෙන් සමූහ මිනී වළක් 2018 වසරේ මතු කර ගත් අතර, ඒ තුළින් මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් ගොඩගැනිණි. 2018 මාර්තු 26 වන දා සිට 2019 මාර්තු 7 දක්වා සමූහ මිනී වළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීය.

මන්නාරම සමූහ මිනී වළ සම්බන්ධයෙන් ඇමෙරිකානු රසායනාගාර තුළ කාබන් පරීක්ෂාවන් සිදුකළ අතර, එහිදී අනාවරණය වූයේ අදාළ අස්ථි කොටස් වර්ෂ 1450ත් 1650ත් අතර කාලයකට අයත් බව ය.

මන්නාරම සමූහ මිනී වළ පරීක්ෂණයන්ගෙන් අනතුරුව මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් සමූහ මිනී වළක් හමුවූ අතර, 2023 ජූනි 29 වන දා සමූහ මිනී වළ සම්බන්ධයෙන් වාර්තා විය. 2024 ජූලි 15 වන දා දක්වා කොක්කුතුඩුවායි සමූහ මිනී වළ සම්බන්ධයෙන් කැණීම් සිදුකරනු ලැබීය.

එහිදි මිනිස් සිරුරු 52 කට අදාළ අස්ථි කොටස් මතු කර ගත් අතර, අදාළ සමූහ මිනී වළ 1994 හා 1996 දක්වා කාලයකට අයත් විය හැකි බවට කැණීම් නිලධාරීහු නිගමනය කළහ.

කොක්කුතුඩුවායි සමූහ මිනීවළ හමුවීමෙන් පසුව යාපනය, චෙම්මනෙයි ප්‍රදේශයෙන් අස්ථි කොටස් කිහිපයක් සොයා ගැනිණි.