යෝෂිත රාජපක්ෂ මුදල් විශුද්ධිකරණ නඩුව: 'හිටපු පෙම්වතියගේ' සහ තවත් දෙදෙනෙකුගේ සාක්ෂිවලින් හෙළිවූ කරුණු

යෝෂිත රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද නඩුව අද (ජූලි 09) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනිණි.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ ය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් CSN රූපවාහිනී නාලිකාවේ නාලිකා ප්‍රධානී වශයෙන් කටයුතු කළ යසාරා අබේනායක කියා සිටියේ තමා සහ විත්තිකාර යෝෂිත රාජපක්ෂ අතර ප්‍රේම සම්බන්ධයක් පැවති අතර, තමා CSN නාලිකාවේ නාලිකා ප්‍රධානී වශයෙන් ක්‍රියා කළ බව ය.

"නමුත් යෝෂිත සමග පැවති සම්බන්ධය ගැලපීමක් නැති බව ගෙවල්වලින් කියා සිටියා. ඒ නිසා එම සම්බන්ධය බිඳී ගියා. 2013 වසරේ පමණ තමයි එම සම්බන්ධය අවසන් වුණේ. මෙම නඩුවට පාදක වන දෙහිවල, මිහිඳු මාවතේ පිහිටි නිවසට මම ගිහින් තියෙනවා. අපි විවාහ වෙලා එම නිවසේ පදිංචියට යන්න යි හිටියේ. යෝෂිත තමයි මේ ගේ හැදුවේ. මේ ගේ හදන කාලේ යෝෂිත නාවික හමුදාවේ වැඩ කළා. CSN නාලිකාවේ වැඩවලට යෝෂිත උදව් කළා," යනුවෙන් සඳහන් කළා ය.

මෙහිදී යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මතු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකාරිය මෙම නිවස විශාල නිවසක් බවත්, එහි කාමර විශාල සංඛ්‍යාවක් තිබූ බවත් පැවසීය.

ඉන් අනතුරුව රත්මලාන ප්‍රදේශයේ පදිංචි ලූෂන් රත්නායක නමැත්තා සාක්ෂි දෙමින්, "රත්මලාන, කෙකටිය පාරේ පිහිටි තම ඉඩමක් විකිණීමට සූදානම් වූ බව සඳහන් කළේ ය.

"මේ ඉඩම පර්චස් 31ක් පමණ විශාල යි. එය විකිණීමේ කාර්යය මගේ හිතවතෙකු වන වසන්ත කුමාර ජයසූරිය වෙත පැවරුවා. ඔහු ගැනුම්කරුවෙක් අරන් ආවා. ඒ ගැනුම්කරු කවුද කියලා කිව්වේ නෑ," යනුවෙන් සඳහන් කරමින් සාක්ෂිකරු සිනාමුසු මුහුණක් දැක්වීය.

ඒ අවස්ථාවේදී සාක්ෂිකරු වෙත ප්‍රශ්නයක් යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, "ඇයි ඔබ හිනාවෙන්නේ. ඔබ ඇහැව්වේ නැද්ද ඉඩම ගන්නේ කවුද කියලා?" යනුවෙන් විමසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු, "මම ඇහුවේ නෑ" යනුවෙන් සිනාමුසු මුහුණින් යළි පිළිතුරු දුන්නේ ය.

යළි සාක්ෂි දුන් සාක්ෂිකරු, "මේ ඉඩම විකීණීමට අදාළ ඔප්පු අත්සන් කළේ රාජගිරිය, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේදී.

අපේ ගිණුම්වලට මුදල් තැන්පත් කළාට පස්සේ තමයි මේ ඔප්පුව අත්සන් කළේ. රුපියල් මිලියන 34.5කට තමයි මේ ඉඩම විකිණීම සිදු කළේ. මේ මුදල් තැන්පත් කළේ කවුදැයි මම දන්නේ නෑ. මේ ඉඩමේ ගැනුම්කරු ලෙස සඳහන් වුණේ, ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවක්. මේ ඉඩම විකිණීමට වසර දෙකකට පමණ පෙර නිවසේ තිබූ බඩු මුට්ටු විකිණීමට අපි ගරාජ් සේල් එකක් දැම්මා. ඒ අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ සහ ඇයගේ පෙම්වතිය සමග මේ නිවසට ආවා," යනුවෙන් කියා සිටියේ ය.

ඉන් අනතුරුව තවත් සාක්ෂිකරුවෙකු වන වසන්ත කුමාර ජයසූරිය සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.

"යසාරා අබේනායක මගේ ඥති දියණියක්. ඇය යෝෂිත රාජපක්ෂ සමග මුදු මාරු කරගෙන විවාහ වෙන්න ඔන්න මෙන්න තමයි තිබුණේ. ඒ අවස්ථාවේදී තමයි ලූෂන් රත්නායකගේ ඉඩම් මිල දී ගන්න යෝෂිත මා සමග සාකච්ඡා කළේ. යෝෂිත රාජපක්ෂ මේ ඉඩම මිල දී ගන්න සූදානම් බව පැවසුවා. ඒ අනුව ඉඩම මිල දී ගැනීමට අදාළ ඔප්පු අත්සන් කළේ, රාජගිරියේ පිහිටි ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේදී. එතනට මුදල් අරං ආවේ බෑග්වලින්. ආරක්ෂකයින් වැනි පුද්ගලයින් තමයි මේ මුදල් අරගෙන ආවේ," යනුවෙන් පැවසීය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 17 වන දා දක්වා කල් තැබිණි.