ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු නීතිපති පෑම් බොන්ඩායි ධූරයෙන් ඉවත් කළේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ඇනා ෆැගායි සහ බර්න්ඩ් ඩිබ්‍යුස්මන් Jr, ධවල මන්දිරයේ සිට
- කියවීමේ කාලය: මිනිත්තු 5
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ රජයේ දිගුකාලීන සගයෙකු සහ ඒ වෙනුවෙන් දැඩිව පෙනී සිටි අයෙකු වූ එරට නීතිපති පෑම් බොන්ඩායි එම තනතුරින් ඉවත් කර තිබේ.
Truth Socialහි සටහනක් තබමින් ට්‍රම්ප් ඇයට ප්‍රශංසා කළ අතර, ඇය පෞද්ගලික අංශයේ භූමිකාවකට "මාරුවක්" ලබා ගත් බව සඳහන් කර තිබිණි.
බොන්ඩායි අධිකරණ දෙපාර්තමේන්තුව මෙහෙයවූ කාලය එය බොහෝවිට විවේචනයට ලක්වූයේ, ජෙෆ්රි එප්ස්ටීන්ට අදාළ ලිපිගොනු ප්‍රසිද්ධියට පත්වීම සහ වරදකරු වූ ලිංගික අපරාධකරු පිළිබඳ විමර්ශනය හැසිරවූ ආකාරය හේතුවෙනි.
මාර්තු මාසයේදී ක්‍රිස්ටි නෝම් ස්වදේශ ආරක්ෂක ප්‍රධානී ධූරයෙන් නෙරපා හැරීමෙන් පසු, මෑත සති කිහිපය තුළ තනතුරෙන් ඉවත් කරන ලද දෙවන පරිපාලන නිලධාරිනිය ඇය යි. බොන්ඩායි වෙනුවට ඇගේ හිටපු නියෝජ්‍ය නිලධාරි ටොඩ් බ්ලැන්ච් එම ධූරයේ ඉදිරියට කටයුතු කරනු ඇත.
තම රාජකාරි කටයුතු බ්ලැන්ච් වෙත පැවරීම සඳහා "වෙහෙස නොබලා වැඩ කරන" බව බොන්ඩායි පැවසුවේ, එම රැකියාව ජීවිත කාලය පුරා ම "ගෞරවයක්" වූ බව ද පවසමිනි.
පෞද්ගලික අංශයේ ඇයගේ නව රැකියාව [ඇය එය කුමක් ද යන්න පවසා නොමැත] තුළ ඇය "ජනාධිපති ට්‍රම්ප් සහ මෙම පරිපාලනය වෙනුවෙන් අඛණ්ඩව සටන් කරන" බව ඇය තවදුරටත් පැවසුවා ය.
මෙම නිවේදනය නිකුත් වන්නේ, මාස දෙකකටත් අඩු කාලයකදී බොන්ඩායි නීති සම්පාදකයින්ගෙන් ප්‍රශ්න රැසකට මුහුණ දුන් උද්වේගකර කොංග්‍රස් සභා විවාදයකින් පසුව ය - එම විවාදය කොතෙක් දුරට දුරදිග ගියේ ද යත් එය ඝෝෂාවක් බවට පත් විය. එක් අවස්ථාවක ඇය එහි සිටි ඩිමොක්‍රටික් නියෝජිතයෙකුට, "වැඩකට නැති අසාර්ථකයා," යනුවෙන් ආමන්ත්‍රණය කළා ය.
බ්‍රහස්පතින්දා උදෑසන පවා, ට්‍රම්ප් බොන්ඩායි ආරක්ෂා කරමින් මෙසේ පැවසීය: "ඇය අපූරු කාන්තාවක්, ඇය හොඳට වැඩ කරනවා."
නමුත් පැය කිහිපයකට පසු, ට්‍රම්ප් Truth Socialහි ඇයගේ ඉවත්වීම තහවුරු කරමින්, ඇයගේ නව පෞද්ගලික අංශයේ භූමිකාව "නුදුරු අනාගතයේ දිනකදී ප්‍රකාශයට පත් කරන" බව පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"අපේ රට පුරා අපරාධ මර්දනය කිරීම සඳහා දැවැන්ත කාර්යයක් අධීක්ෂණය කිරීම" ඇය විසින් සිදු කරනු ලැබ ඇති බව පවසමින්, ට්‍රම්ප් නීතිපතිවරිය ලෙස බොන්ඩායිගේ රාජකාරිය අගය කළේ ය.
නමුත් ජනාධිපතිවරයා බොන්ඩායි කෙරෙහි, විශේෂයෙන් එප්ස්ටීන් ලිපිගොනු හැසිරවීම සම්බන්ධයෙන් වඩ වඩාත් කලකිරීමට පත්ව සිටි බව වාර්තා වේ.
2025 පෙබරවාරි මාසයේදී ඇය එම තනතුරේ දිවුරුම් දුන් අවස්ථාවේ එප්ස්ටීන් නඩුව සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන බවට ප්‍රතිඥා දුන් අතර, 2019 වසරේදී මියගිය අපකීර්තියට පත් එම මූල්‍යකරු හා සම්බන්ධකම් පැවැත්වූ ගනුදෙනුකරුවන්ගේ ලැයිස්තුවක් නිකුත් කිරීමට ද පොරොන්දු විය.
නමුත් එවැනි ලැයිස්තුවක් නොමැති බව දෙපාර්තමේන්තුව පසුව පැවසීය.
අවසානයේදී, එප්ස්ටීන්ට අදාළ මිලියන ගණනක් ලිපිගොනු ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ඇතුළු පාර්ශව වෙතින් එල්ල වූ පීඩනය හමුවේ මුදා හැරුණේ අධිකරණ දෙපාර්තමේන්තුවට රහසිගත වාර්තා ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය වූ නීතියක් කොංග්‍රසය සම්මත කිරීමෙන් පසුව ය.
අධිකරණ දෙපාර්තමේන්තුව, සහ පසුව බොන්ඩායි ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ දෙකේ ම විරෝධයට මුහුණ දුන්නා ය. වින්දිතයින් නොවන අයගේ අනන්‍යතාව ආරක්ෂා කළ නමුත් දිවි ගලවා ගත් අය පිළිබඳ ඇතැම් තොරතුරුවල රහසිගතභාවය රැකීමට අධිකරණ දෙපාර්තමේන්තුව අපොහොසත් වූ බවට නීති සම්පාදකයෝ එහිදී චෝදනා කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
A handful of Republicans who worked with her closely over the years praised her on Thursday.
වසර ගණනාවක් පුරා ඇය සමග සමීපව කටයුතු කළ රිපබ්ලිකන් පාක්ෂිකයින් අතළොස්සක් බ්‍රහස්පතින්දා ඇයට ප්‍රශංසා කළහ.
"පෑම් බොන්ඩායි මෙම දෙපාර්තමේන්තුවට ශක්තියෙන් හා විශ්වාසයෙන් නායකත්වය දුන් අතර ඇයගේ නායකත්වය සහ මිත්‍රත්වයට මම කෘතඥ වෙමි," බ්ලැන්ච් Xහි ලිවීය. "අපි පොලිසියට දිගට ම සහය දෙන්නෙමු, නීතිය ක්‍රියාත්මක කරන්නෙමු, සහ ඇමෙරිකාව ආරක්ෂිතව තබා ගැනීමට අපගේ හැකි සෑම දෙයක් ම කරන්නෙමු."
තවත් සමහරු ඇගේ නික්ම යාම සැමරූහ.
ඔවුන් අතර කෙන්ටකි රිපබ්ලිකන් කොන්ග්‍රස් සභික තෝමස් මැසී ද විය. ඔහු බොන්ඩායි එප්ස්ටීන් ලිපිගොනු හැසිරවීම පිළිබඳ නිරන්තරයෙන් විවේචනයට ලක් කළේ ය.
"ඊළඟ නීතිපතිවරයා නීතියට අනුව සියලු ම එප්ස්ටීන් ලිපිගොනු නිදහස් කර විමර්ශන, නඩු පැවරීම් සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි," ඔහු Xහි ලිවීය.
ලිපිගොනු නිකුත් කිරීමට බල කිරීම සඳහා පක්ෂ දෙකේ ම සහය හිමි වූ නීතිය සම්බන්ධයෙන් මැසී සමග කටයුතු කළ කැලිෆෝනියා ඩිමොක්‍රටික් නියෝජිත රෝ ඛන්නා, බීබීසීයේ නිව්ස්නයිට් වැඩසටහනට මෙසේ පැවසීය: "මෙයින් පෙනී යන්නේ කොංග්‍රසය පා පිස්නාවක් නෙවෙයි කියන එක."
"තමන්ට අවශ්‍ය පරිදි නීති වෙනස් කළ හැකි බවටත්, තමන්ට රිසි සේ කටයුතු කළ හැකි බවටත්, අපි වගේ අය වැඩකට නැති පිරිසක් ලෙස සැලකූ මෙම එප්ස්ටීන් පන්තිය, මෙම පිරිමින් කණ්ඩායම විමර්ශනය කර නඩු පැවරීමට යටත් වන්නේ නම් මිස," නීති සම්පාදකයින් බ්ලැන්ච් ඊළඟ නීතිපතිවරයා ලෙස තහවුරු කිරීම ප්‍රතික්ෂේප කළ යුතු බව ඛන්නා පැවසීය.
බොන්ඩායිගේ රිපබ්ලිකන් විවේචකයෙකු වන දකුණු කැරොලිනා නියෝජිත නැන්සි මේස්, ඇය "වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට ගන්නා සෑම උත්සහයක් ම අඩපණ කළ" බවටත්, ඇය ලිපිගොනු හැසිරවූ ආකාරය ට්‍රම්ප්ට "බරපතළ ලෙස හානි කළ" බවටත් චෝදනා කළා ය.
එප්ස්ටීන් සිද්ධියෙන් නිදහස ලැබූවන් බීබීසීයට පැවසුවේ, බොන්ඩායි තවමත් ඔවුන්ව හමුවී හෝ එප්ස්ටීන්ගේ වැරදි ක්‍රියාව පිළිබඳව ඔවුන්ගේ විද්‍යුත් තැපැල් පණිවිඩවලට ප්‍රතිචාර දක්වා නොමැති බවත්, එය ට්‍රම්ප්ට දේශපාලනික වශයෙන් ගැටලුවක් නිර්මාණය කර ඇති බවත් ය.
බොන්ඩායි එප්ස්ටීන් "රාක්ෂයෙකු" ලෙස හැඳින්වූ අතර වින්දිතයින් මුහුණ දුන් අපයෝජන ගැන කණගාටු වන බව පවසා තිබේ.
ඉතා මෑතකදී, එප්ස්ටීන් විමර්ශනය හැසිරවීම පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා කොංග්‍රස් කමිටුවක් බොන්ඩායි නිල වශයෙන් කැඳවීය. ඇය මේ මාසයේ ඔවුන් ඉදිරියේ පෙනී සිටීමට නියමිතව තිබිණි.
ඇයගේ නායකත්වය යටතේ, අධිකරණ දෙපාර්තමේන්තුව, කැලිෆෝනියා සෙනෙට් සභික ඇඩම් ෂිෆ්, නිව් යෝක් නීතිපති ලෙටිෂියා ජේම්ස් සහ හිටපු එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමේ ඇතුළු ජනාධිපතිවරයාගේ දේශපාලන විරුද්ධවාදීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ගණනාවක් පවත්වාගෙන ගොස් ඇත.
සැප්තැම්බර් මාසයේදී ට්‍රම්ප් බොන්ඩායිට ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් ගැන දැඩිව විමර්ශනය කිරීමට බල කළේ ය.
"අපට තවදුරටත් ප්‍රමාද කරන්න බැහැ, ඒකෙන් අපේ කීර්ති නාමය සහ විශ්වාසය විනාශ වෙනවා," යනුවෙන් බොන්ඩායි වෙත ඍජුව ම යොමු කළ සමාජ මාධ්‍ය සටහනකදී ඔහු පැවසීය.
ජනවාරි මාසයේදී රටපුරා විරෝධතා ඇති කළ මිනෙසෝටා මිනිඅපොලිස්හි ගැටුම් අතරතුර ෆෙඩ්රල් ආගමන විගමන නියෝජිතයන් දෙදෙනෙකුට මාරාන්තික ලෙස වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනය හැසිරවීම සම්බන්ධයෙන් ඇයගේ ධූර කාලය තුළ අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රශ්නවලට මුහුණ දුන්නා ය.
ට්‍රම්ප්ගේ නිවේදනයත් සමග බොන්ඩායි, නොයෙම් සහ පසුගිය වසරේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වෙත රාජකාරි පැවරූ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස්ගෙන් පසුව, මෙම ධූර කාලයෙන් ඉවත් වන ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයේ තුන්වන ඉහළ පෙළේ සාමාජිකයා බවට පත්වේ.
ට්‍රම්ප්ගේ මෙම ජනාධිපති ධූර කාලයේ සාපේක්ෂව නොවෙනස්ව පවතින අභ්‍යන්තර කවය, 2017-21 අතර ඔහුගේ පළමු ධූර කාලයට වඩා හාත්පසින් ම වෙනස් ය, එය නෙරපා හැරීම් සහ ආදේශනවල කැරකෙන දොරටුවක් විය.
පළමු වසර තුළ පමණක්, ඔහුගේ පරිපාලනය තුළ සිටි නීතිපති සැලී යේට්ස්, ජාතික ආරක්ෂක උපදේශක මයික් ෆ්ලින්, එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමේ, මාණ්ඩලික ප්‍රධානී රෙයින්ස් ප්‍රීබස්, ප්‍රධාන උපායමාර්ගික නිලධාරී ස්ටීව් බැනන් සහ මාධ්‍ය ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුළු තවත් අය ඉවත්ව ගියහ.
විචාරකයින් සහ දේශපාලන උපාය මාර්ගිකයින් සඳහන් කර ඇත්තේ, පසුගිය වසරේ ධවල මන්දිරයට නැවත පැමිණීමෙන් පසු ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය තුළ ඔහුගේ ප්‍රවේශය වඩාත් විනයගරුක වූ අතර අවුල්සහගත බවින් අඩු වූ බව ය.
බොන්ඩායි ට්‍රම්ප්ගේ පළමු දෝෂාභියෝග නඩු විභාගයේදී සහ 2020 මැතිවරණයේ ජය වංචාසහගත ලෙස තමන්ගේ උදුරා ගත් බවට ඔහු ප්‍රකාශ කළ අවස්ථාවේදී ඔහුට සහය දැක්වීය.
මැයි මාසයේදී වංචා චෝදනා 34කට වරදකරු කරමින් අවසන් වූ නිව් යෝර්ක්හි පැවති නඩු විභාගයේදී (hush money trial) ඇය අධිකරණයේ පෙනී සිටීමෙන් ප්‍රසිද්ධියේ ඔහුට සහය දැක්වූවා ය. ට්‍රම්ප් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරයි.




























