සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත වසර 16ක සිරදඬුවම්

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතළ වැඩ සහිත වසර හතර බැගින් සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය විත්තිකරුට බරපතල වැඩ සහිත වසර 16 ක සිරදඬුවම් නියම කළේය.

ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධනට රුපියල් ලක්ෂ 18 ක දඩයක්ද අධිකරණය විසින් නියම කරන ලදි.

නඩු හතරකට වරදකරු කරයි

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට විරුද්ධව නඩු හතරක් ගොනු කර තිබිණි.

මෙම නඩු විභාග කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙහි තීන්දුව අප්‍රේල් මස 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබිණි.

එදින නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නිවේදනය කළේ, නඩුවේ තීන්දුව සූදානම් නොමැති බැවින් එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වැනිදා සිදුකරන බවයි.

ඒ අනුව මෙම නඩු පසුගිය මැයි මස 26 වැනිදා කැඳවනු ලැබූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා නිවේදනය කළේ එදිනද නඩු තීන්දුව සූදානම් නොමැති බැවින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජූනි මස 09 වැනිදා සිදු කරන බවයි.

ඒ අනුව අද දින අදාළ නඩු කැඳවූ අවස්ථාවේදී ඒවායේ තීන්දුව ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා නිවේදනය කළේය.

'චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල විසින් ඔප්පු කර ඇත'

ඒ අනුව නඩු අතුරින් එක් නඩුවක තීන්දුව මූලින්ම ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා මෙම නඩු තීන්දුව පිටු 69 කින් සමන්විත වන බව සඳහන් කළේය. " මෙම විත්තිකරු 2006 වසරේ අගෝස්තු මස 01 වැනිදා සහ 2007 වසරේ ජූලි මස 31 වැනිදා අතර කාලසීමාව තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් කුලී පදනම යටතේ එම ආයතනයට වාහන ලබා ගැනීමේදී වාහන හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ මෙම විත්තිකරුට චෝදනා ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව වාහන තුනක් කුලියට ගැනීමේදී රුපියල් 1560,000 , රුපියල් 1521000 ක් සහ රුපියල් 96000 ක් බදු අත්තිකාරම් වශයෙන් ගෙවා තිබෙනවා." යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා මෙම විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කළ සෙසු නඩු තුන තුළද මේ හා සමාන චෝදනා එල්ල කර තිබූ බව සඳහන් කළේය.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා "මෙම ගෙවීම් සිදූ කිරීම සඳහා අදාළ ආයතනයේ නිලධාරීන්ට බලපෑම් සිදුකරමින් ඔවුන් පෙළඹවූ බවට පැමිණිල්ල විසින් සාක්ෂි ඉදිරිපත් කරනු ලැබුවා. එම සාක්ෂි විශ්ලේෂණය කර බැලීමේදි අදාළ මුදල් අනීතික ආකාරයට ගෙවීම සඳහා මෙම විත්තිකරු විසින් එහි නිළධාරීන්ට බලපෑම් කර ඇති බව අධිකරණයට නිරීක්ෂණය වෙනවා. අදාළ ආයතනය විසින් ලබාගන්නා සේවාවන් සදහා කලින් මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් නොමැති අතර සම්මත ගෙවීම් පටිපාටියට පටහැනි ලෙස අදාළ ගෙවීම් සිදුකර තිබෙන බව සාක්ෂි වලින් අනාවරණය වී තිබෙනවා. ඒ අනුව කුලී පදනම යටතේ අදාළ වාහන ලබාගෙන ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඒ තුළින් රජයට පාඩුවක් සිදු වන ආකාරයෙන් මෙම විත්තිකරු කටයුතු කර තිබෙනවා." ඒ අනුව මෙම විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබෙන බවත් ඒ අනුව අදාළ චෝදනාවලට විත්තිකරු වරදකරු කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශ කරමින් සදහන් කළේය.

ඉන් අනතුරුව දඬුවම් ලිහිල් කිරීම සඳහා අධිකරණ හමුවේ කරුණු දැක්වූ විත්තිකාර සරණ ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රන්ජන් ද සිල්වා " ස්වාමීනි....මේ විත්තිකරු වයස අවුරුදු 62 ක පුද්ගලයෙක්. ඔහු මෑතකදී හෘද සැත්කමකට භාජනය වුණා. බරපතළ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයෙක්. මොහු යළි දේශපාලනයට පැමිණීමේ සූදානමකුත් නැහැ." ඒ අනුව අපරාධ අඩු විධාන සංග්‍රහයේ 303 වගන්තිය අනුව කටයුතු කරමින් විත්තිකරුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉන් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි අධිකරණය හමුවේ කරුණු දක්වමින් "මෙවැනි දූෂණ ක්‍රියා නිසා රජයටත් ආර්ථිකයටත් අහිතකර බලපෑමක් සිදුවෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාව පසුගිය කාලයේ බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාවට පෝලිම්වල රැඳී සිටීමටත් සිදුවුණා. රාජ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන මෙවැනි දූෂණ ක්‍රියා ඊට ප්‍රධාන හේතුවක් වශයෙන් සඳහන් කළ හැකියි. ඒ නිසා දූෂණය පිටුදැකීම සඳහා ඉවහල් වන සමාජයට ආදර්ශයක් විය හැකි ආකාරයේ තීන්දුවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා" යනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්" රාජ්‍ය ආයතනවල සිදුවන මෙවැනි දූෂණ ක්‍රියා හේතුවෙන් ආර්ථිකයට අහිතකර බලපෑමක් සිදුවෙනවා. මහජන මුදල්වල භාරය සහ ඒවා සුරැකීමේ වගකීම රාජ්‍ය නිලධාරීන් මත පැවරී තිබෙනවා. නමුත් රාජ්‍ය ආයතනවල සිදුවන මෙවැනි දූෂණ ක්‍රියා හේතුවෙන් එවැනි ආයතනය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසයන් බිඳ වැටෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව කටයුතු කරමින් ලිහිල් දඬුවම් නියම කරන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා. එහෙත් මෙම නඩුකරයට අදාළව ඉදිරිපත් වී ඇති කරුණු පිරික්සීමේදී මෙම විත්තිකරුට එරෙහිව ඒ ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නැහැ." යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා මහජන මුදල්වල භාරය ආරක්ෂා කිරීම සඳහා ඒ පිළිබඳව අවධානය යොමුවන ආකාරයේ මෙන්ම දූෂණය අධෛර්යමත් කිරීමට හේතුවන ආකාරයෙන් විත්තිකරුට දඬුවම් නියම කිරීමට අධිකරණය තීරණය කළ බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

ඉන් අනතුරුව සරණ ගුණවර්ධන බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබිණි.

සරණ ගුණවර්ධනගේ නීතිඥවරු ප්‍රකාශ කළේ මෙම දඬුවමට එරෙහිව ඔහු විසින් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.